ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව එම ප්‍රදේශවලට ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකියි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
ඌව සහ නැගෙනහිර පළාත්වල ද ස්ථාන ස්වල්පයක අද (16) පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
මේ අතර කන්කසන්තුරේ සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට රළු විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එමෙන්ම අත්තනගලු ඔය ද්‍රෝණියේ සදහා ද නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇගවීම තවදුරටත් ක්‍රියාත්මක බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.
එසේම, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය බදුල්ල, කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, මොණරාගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 13ට නිකුත් කර තිබූ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකයි.