දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම ඉහළ ගොස් ඇති බවත්, මේ වසරේ පසුගිය 11 වැනිදා වන විට රෝගීන් 27,754ක් සහ මරණ 14ක් වාර්තා වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඩෙංගු, බරවා සහ මැලේරියා රෝගවල වත්මන් තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ඊයේ පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය වුණා.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර පෙන්වා දුන්නේ මුළු රෝගීන්ගෙන් 50%ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වන බවයි.
කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර සහ මහනුවර යන දිස්ත්‍රික්කවල රෝග ව්‍යාප්තිය වැඩි බවත්, මෝසම් වර්ෂාවත් සමඟ මෙය තවදුරටත් ඉහළ යා හැකි බවත් ඇය සඳහන් කළා.
නිවෙස්වලට වඩා පාසල්, ආගමික ස්ථාන, වැඩබිම් සහ කාර්යාල පරිශ්‍රවල මදුරුවන් බෝවීම ඉහළ මට්ටමක පවතින බවද මෙහිදී අවධාරණය කෙරුණා.
බරවා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසංග සේරසිංහ සඳහන් කළේ 2016 වසරේදී බරවා රෝගය මෙරටින් තුරන් කළ බවට සහතික ලැබුණද, තවමත් රෝගීන් සුළු වශයෙන් වාර්තා වන බවයි.
2025 වසරේදී මෙරටින් රෝගීන් 34ක් සහ විදේශිකයන් 34ක් වශයෙන් මුළු රෝගීන් 68ක් හඳුනාගෙන තිබෙනවා.
හම්බන්තොට, මාතර, ගාල්ල, කළුතර, කොළඹ, ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් තවමත් රෝගීන් වාර්තා වන බව ඔහු පැවසුවා.
එසේම, 2016 වසරේදී මෙරටින් තුරන් කළ මැලේරියා රෝගය, විදේශ රටවල සිට පැමිණෙන පුද්ගලයන් හරහා නැවත මෙරටට ඇතුළු වීමේ අවදානමක් පවතින බව මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය අරූන් කුමාර් මෙහිදී ප්‍රකාශ කළා.
තද උණ සමඟ ඇඟපත වේදනාව, හිසරදය, වමනය හෝ රතු ලප හටගන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.
පරිසරය පිරිසිදුව තබා ගැනීම සහ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම මගින් මෙම රෝග පාලනයට සහාය වන ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.