ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බවත්, එම පද්ධතිය ඉදිරි පැය 48 තුළදී මෙරටින් ඉවතට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ පස්වරු 4.00 ට නිකුත් කරන ලද නිවේදනයේ දැක්වුණා.
එසේම, අද දිනයේදීද බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ට වැඩි තදවැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
ඊයේ පෙරවරු 8.30 න් අවසන්වූ පැය 24 ක කාලය තුළදී දිවයිනේ වැඩිම වර්ෂාපතන තත්වය වාර්තා වූයේ පුත්තලම ප්‍රදේශයෙන්. එම ප්‍රදේශයෙන් මිලි මීටර් 256 ක වර්ෂාපතන තත්වයක් වාර්තා වුණා.
කෙසේ වෙතත්,ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලින් වර්ෂාපතන තත්වයක් වාර්තා නොවූ අතර, මස්කෙළිය ප්‍රදේශයෙන් පමණක් මිලිමීටර් 5 ක වර්ෂාපතන තත්වයක් වාර්තා වුණා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මහා පරිමාණ සහ මධ්‍ය පරිමාණ ජලාශ 38 ක් වාන් දමන බව එම දෙපාර්තමේන්තුව පවසනවා. වාරි ජලාශ වල සමස්ත ජල ධාරිතාව සියයට 71.5 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර, අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතක පවුල් 1,113 කට අයත් පුද්ගලයින් 3,475 ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන්කරනවා.