පසුගියදා උතුරු කළුතර, බෝසිරිපුර ප්‍රදේශයෙන් වාර්තා වූයේ එවැනිම අතිශය සංවේදී සහ බියකරු පුවතක්.
පසුගිය 4 වැනිදා සවස් වරුවේ උතුරු කළුතර පොලිසියට 63 හැවිරිදි පුද්ගලයෙක් පැමිණෙනවා. ඔහුගේ අතේ තිබුණේ පොල් ලෙලි ගැසීමට ගන්නා යකඩ උලක්! පොලිස් නිලධාරීන් මවිත කරමින් ඔහු පවසන්නේ, "සර්, මම මගේ දුවට මේ යකඩ උලෙන් ගහලා මැරුවා" කියායි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ 35 හැවිරිදි දිලිනි මධුශානි නැමැති එක්දරු මවකි. ඇය නන්දසිරි අමරදේව සහ රමණී යන යුවළගේ වැඩිමහල් නිවුන් දියණියන් දෙදෙනාගෙන් එක් අයෙකි.
නන්දසිරි අමරදේව රජයේ මුද්‍රණාලයේ සේවය කර විශ්‍රාම ලැබූ අයෙක්. ඔහු පවසන ආකාරයට මේ ගැටුමට මුල කාලයක සිට පවතින ඉඩම් ප්‍රශ්නයක්.
නන්දසිරි ජීවත් වූ නිවස අසල වූ ඉඩම් කොටසක් සම්බන්ධයෙන් දියණිය සමඟ කාලයක සිට ආරවුල් තිබී ඇත.
සිද්ධිය වූ දින දියණිය පැමිණ "මගේ වත්තෙන් කොස් කෑවේ ඇයි?" කියා බැණ වැදී තිබේ.
කෝපය පාලනය කරගත නොහැකි වූ පියා, දියණිය යතුරුපැදියෙන් පිටව යාමට සැරසෙද්දී යකඩ උලෙන් හිසට ප්‍රහාර එල්ල කර ඇත.
නමුත් මියගිය දිලිනිගේ මව පවසන්නේ මීට වඩා වෙනස් කතාවකි. ඇය පවසන පරිදි මෙය කොස් ගෙඩියක් නිසා ඇති වූවක්ම නොවේ.
"දුවගේ මහත්තයා රට ඉන්නේ. ඉතින් දුවගෙයි, අවුරුද්දක් වයසැති පොඩි දරුවගෙයි ආරක්ෂාවට මම දුවගේ ගෙදර (වස්කඩුවේ) නතර වෙලා හිටියා. මහත්තයාට ඒකට තරහයි. මට ආපහු ගෙදර එන්න කියලයි එයා මේ හැමදේම කළේ.."
අසල්වාසීන් එක්ව තුවාල ලැබූ දිලිනිව රෝහල්ගත කළත්, ඇයට ජීවිතය දිනා ගැනීමට හැකි වූයේ නැත. ඇය රෝහලේදී අවසන් හුස්ම හෙළුවාය.
අද වන විට දියණිය මියගොස් අවසානය.පියා හිරේ විලංගුවේ වැටී ඇත.දරුවා කිසිවක් නොදන්නා අවුරුද්දක් වයසැති බිළිඳාට මව අහිමි වී ඇත.
ඉඩම් සහ පවුල් ආරවුල් හමුවේ මනුෂ්‍යත්වය සහ ලේ නෑකම් යටපත් වීම මොනතරම් අභාග්‍යයක්ද?