ඒ දහදිය සුවඳ මැද්දේ, සුවඳ විලවුන් විසුරුවමින්, ඉතාම පිළිවෙළට මහපු සුදු ඇඳුමකින් සැරසිලා, කළු පැහැති සන්ග්ලාස් දෙකක් දාලා, අතේ ඔරලෝසුවත් කමිස අතට උඩින් බැඳලා එන එක්තරා අපූරු මනුස්සයෙක් ඉන්නවා. ඔහු දකින ඕනෑම කෙනෙක් මොහොතකට නතර වෙලා බලනවා. ඒ ඔහුගේ පෙනුමේ තියෙන ගාම්භීරකම නිසාම නෙවෙයි, ඔහු කරන රස්සාව සහ ඔහුගේ විලාසිතාව අතර තියෙන අමුතුම පරස්පරය නිසයි.
ඔහු මාණික්කම්. නමුත් මුළු කොටුවම ඔහුව හඳුන්වන්නේ "එම්.ජී.ආර්." නමින්.
පස්සට හැරිලා බැලුවොත් මාණික්කම්ගේ කතාව හරිම සංවේදීයි. කොටුවේ සාරදාස් බිල්ඩින් එක ගාව ඉපදුණු ඔහුට, අම්මයි තාත්තයි නැතිවුණාට පස්සේ ඉගෙනීම අතහරින්න සිද්ධ වෙන්නේ හය වසරේදී. වයස අවුරුදු 14 දී කරත්ත රස්සාවට එන ඔහුට එදා ලැබුණේ සත කිහිපයක පඩියක්. ඒත් එදා ඔහු හිතුවා මේක තමයි තමන්ගේ රස්සාව කියලා.
ඔහුගේ ජීවිතේ උඩුයටිකුරු කළේ ඔහුගේ අම්මා. අම්මා වැන්ද දෙවියන්ගේ පින්තූර පේළියේ පහළින්ම තිබුණේ සුදු ඇඳුමින් සැරසුණු, කළු කණ්ණාඩි දාපු "එම්.ජී.ආර්."ගේ පින්තූරයක්.
"අම්මේ මේ කවුද?" මාණික්කම් එදා අහද්දී අම්මා දුන්න උත්තරය ඔහුගේ හදවතේ තදින්ම කාවැදුණා.
"මේ උඹට විතරක් නෙවෙයි, මුළු ලෝකෙටම තාත්තා කෙනෙක් වගේ මනුස්සයෙක්..."
එදා ඉඳන් මාණික්කම්ගේ වීරයා වුණේ ඉන්දියාවේ හිටපු ඒ දුප්පතාගේ හිතවතා.
අද වෙද්දී මාණික්කම් ළඟ සපත්තු කුට්ටම් 52ක්, බෙල්ට් 50ක් සහ සන්ග්ලාස් 50ක් තියෙනවා. ඔහු දවස අවසානයේ නිදාගන්න යන්නේ හෙට අඳින ඇඳුම මොකක්ද කියලා හිතලා මැනලා තීරණය කරලා. කරත්තය තල්ලු කළත්, ඔහු ඒ වැඩේ කරන්නේ රජෙක් වගේ.
"මම මේ රස්සාව කරන්නේ පිළිවෙළට. මිනිස්සු මට ලක්ෂ ගණන් බඩු භාර දෙන්නේ ඒ විශ්වාසය නිසා. විශ්වාසය තමයි ලෝකේ තියෙන ලොකුම දේ," ඔහු පවසන්නේ ආඩම්බරයෙන්. ඔහුට ඕන වුණේ නැහැ ආර්නෝල්ඩ් වගේ ඇඟ හදාගන්න. ඔහුට ඕන වුණේ එම්.ජී.ආර්. වගේ ලස්සනට අඳින්නයි. මොකද ඇඟ හැදුවොත් හිතේ ක්‍රෝධය ඇතිවෙන්න පුළුවන් කියලා ඔහු විශ්වාස කරනවා.
මාණික්කම්ගේ ඇඳුමට වඩා ඔහුගේ හදවත ලස්සනයි. ඔහු ජීවිතේ දකින්නේ හරිම වෙනස් විදියකට. "අපි අවුරුදු තුන්සීයක් ජීවත් වෙන්න ආවේ නැහැ. ඉන්න ටික කාලේ කාටවත් කරදරයක් නැතිව, හැමෝටම ආදරෙන් ඉන්න ඕනේ. ලෝකේ ලොකුම සද්දේ විදුලි සද්දේ වුණාට, අන්තිමට දිනන්නේ මේ මහපොළවයි."
ජාති බේදයකින් තොරව, කොටුවේ ලක්ෂයකට අධික නාට්ටාමිලා අතරේ ඔහු "ස්ටාර්" කෙනෙක් වුණේ ඔහුගේ විලාසිතාව නිසා විතරක් නෙවෙයි, ඔහු සතු ඒ නිහතමානී මනුස්සකම නිසයි. අතේ සල්ලි නැති දවසටත් සතුටින් ඉන්න දන්න, වැස්සත් අව්වක් වගේ හිතලා වැඩ කරන මාණික්කම්, කොටුවටම ආලෝකයක්.
අදටත් ඔහු කොටුවේ වීදිවල කරත්තය තල්ලු කරමින් යන්නේ එකම එක ප්‍රාර්ථනාවකින්. ඒ තමයි ජීවත් වෙලා ඉන්න ටික කාලේ ලස්සනට ඇඳලා, කාටවත් බරක් නොවී සතුටින් ඉන්න එක.