ඔයාලා දන්නවද අභ්‍යවකාශයේ අලුත් තරු හොයන්න තාරකා විද්‍යාඥයෝ පාවිච්චි කරන AI (කෘතිම බුද්ධිය) තාක්ෂණය දැන් වෛද්‍ය විද්‍යාවටත් ඇවිත්. කොලොම්බියා විශ්වවිද්‍යාලය මගින් හඳුන්වා දුන් ස්ටාර් (Star - Sperm Track and Recovery) කියන අපූරු පද්ධතිය හරහා තමයි මේ හාස්කම වෙන්නේ.
සාමාන්‍යයෙන් පියවි ඇසට පේන්නෙවත් නැති, ලක්ෂ ගණන් අපද්‍රව්‍ය අතර සැඟවුණු අතිශය දුර්ලභ ශුක්‍රාණු සෛල AI මගින් අල්ලා ගන්න මේ තාක්ෂණයට පුළුවන්. තත්පරයට රූප 300ක් පරීක්ෂා කරලා, මිලි තත්පර ගණනකින් රොබෝ අතක් මගින් ඒ සෛල වෙන් කරගන්න මේ "ස්ටාර්" පද්ධතියට පුළුවන්ලු!
නිව් ජර්සි හි පෙනෙලොප් සහ සැමුවෙල් කියන යුවළ මේකට හොඳම උදාහරණය. සැමුවෙල් පෙළුණු විශේෂ ජානමය තත්ත්වයක් නිසා ඔහුගේ ශුක්‍ර තරලයේ කිසිම ශුක්‍රාණු සෛලයක් නැහැ කියලා තමයි වෛද්‍යවරු කලින් කියලා තිබුණේ. ඔහුට දරුවෙක් ලැබීමේ සම්භාවිතාව තිබුණේ 20%කටත් වඩා අඩුවෙන්.
හැබැයි 'ස්ටාර්' පද්ධතිය සැමුවෙල්ගේ පටක සාම්පලයකින් අතිශය දුර්ලභ ශුක්‍රාණු සෛල 8ක් හොයාගත්තා. අන්න ඒ සෛලයකින් හැදුණු කළලයක් නිසා පෙනෙලොප් දැන් ගැබ්ගෙන ඉන්නේ!
මේ තාක්ෂණයෙන් උපදින ලොව පළමු පිරිමි දරුවා ලබන ජූලි මාසයේ උපත ලැබීමට නියමිතයි. ලොව පුරා පිරිමින්ගෙන් 1%ක් පමණ පෙළෙන 'Azoospermia' තත්ත්වයට මේක දිව්‍ය ඖෂධයක් වගේ වේවි කියලා වෛද්‍යවරු අනාවැකි පළ කරනවා.
තවමත් මේක පර්යේෂණ මට්ටමේ තිබුණත්, දරුවන් නැතිව ලතවෙන ලෝකයේ මිලියන සංඛ්‍යාත යුවළවලට මේ පුවත ගෙනාවේ අලුත්ම බලාපොරොත්තුවක්.