මීට අවුරුදු හතරකට කලින්, තාම ඉගෙනගන්න කාලේ ලක්ෂාන් ප්‍රනාන්දු තමන්ගේ අම්මයි තාත්තයි එක්ක ගාලු මුවදොර පිටියට ගියපු දවසක අම්මා අහපු අහිංසක ප්‍රශ්නයක් තමයි මේ හැමදේකටම මුල. එදා අලුතින්ම හදාගෙන යන ITC රත්නදීප හෝටලය දෙස බලලා අම්මා අහලා තිබුණේ, "පුතේ මේ වගේ හෝටල් වල කන්න බොන්න ලොකු වියදමක් යනවා ඇති නේද?" කියලා.
එදා ලක්ෂාන්ගේ අතේ ඒ තරම් සල්ලියක් තිබුණේ නැහැ. ඒත් ඔහු එදා හිතින් එක දෙයක් දැඩිව අධිෂ්ඨාන කරගත්තා. "කවදාහරි මං මගේ අම්මවයි තාත්තවයි මේ හෝටලයටම එක්කන් එනවා!"
කතාවේ ලස්සනම හරිය සිද්ධ වෙන්නේ පහුගිය දවසක. තමන්ගේ අම්මාගේ උපන්දිනය දවසේ ලක්ෂාන් ඇයව එක්කගෙන ගියේ එදා අම්මා ඇඟිල්ල දිගු කරපු ඒ අති සුඛෝපභෝගී හෝටලයටමයි.
වසර හතරක් තිස්සේ මහන්සි වෙලා, කැපකිරීම් කරලා, තමන් කරන දේ ගැන ලොකු විශ්වාසයකින් ඉඳපු මේ තරුණයා අද ඒ හීනය සැබෑ කරගෙන. එහිදී අම්මයි තාත්තයි කියපු එකම කතාව වුණේ, අපි මේ දේවල් ලබන්න හරිම වාසනාවන්තයි කියන එකයි.
තමන්ගේ අත්දැකීම මුහුණුපොතට එක් කරමින් ලක්ෂාන් පවසන්නේ දරුවෙක් විදිහට තමන් අද ජීවිතය දිනලා ඉවරයි කියලා. ඒ වගේම මව්පියන් වෙනුවෙන් හීන දකින හැමෝටම ලක්ෂාන් අපූරු පණිවිඩයක් දෙනවා.
"අම්මා, තාත්තා වෙනුවෙන් දෙයක් කරන්න, එයාලව සතුටු කරන්න හීන දකින, මහන්සිවෙන උඹලා හැමෝගෙම ඒ හීන දවසක හැබෑවෙන්නම ඕනේ!"
ලක්ෂාන්ගේ මේ ආදර්ශවත් කතාවට අන්තර්ජාලය පුරා විශාල ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. සැබෑ ජයග්‍රහණය කියන්නේ තමන් උසස් තැනකට යනකොට තමන්ව ඒ තැනට ගේන්න පඩිපෙළක් වුණු මව්පියන්වත් ඒ උසටම උස්සලා තියන එක නේද?