ඒ, තිදරු පියෙකු තම දරුවන්ගේ බඩගින්න නිවන්නට මහන්සියෙන් ගබඩා කරගත් වී ටික රැකගන්නට ගොස් වන අලියෙකුගේ ප්‍රහාරයෙන් අවසන් හුස්ම හෙළීමත් සමඟයි.
නිහඬ රාත්‍රිය දෙදරුම් කවමින් ඇසුණු දඩස් ශබ්දය මුළු නිවසම භීතියෙන් ඇලළී යන්නට සමත් විය. නිවසේ ගබඩා කර තිබූ වී ටිකේ සුවඳ දිගේ පැමිණි වන අලියා, නිවසේ බිත්තියක් කඩා දමමින් තම කුසගින්න නිවාගන්නට උත්සාහ කර ඇත.
නිවෙස් හිමියා ඇතුළු පිරිස දැඩි බියෙන් යුතුව නිවස තුළට වී සිටියද, ටික වේලාවකින් අලියා නිවසින් පිටව ගිය බවක් හැඟී ගියේය.
"අලි ගියා කියලා අප්පා එළියට ගියා..." මෙම සිදුවීමේ වඩාත්ම හදගැස්ම ඇති කරන්නේ මියගිය පියාගේ මව පවසන මේ වදනයි..
"දඩස් ගාන සද්දයක් ඇහුනා.. මට ඇස් ටිකක් පේන්නේ නැහැ. මගේ අප්පා ටිකක් වෙලා ඉඳලා, දැන් අලි ගියා කියලා එළියට ගියා... ඒ ගියේ ආයේ ආවේ නැහැ."අලි ගියා යැයි සිතා, තවදුරටත් සිදුවන විනාශය නතර කිරීමටත්, තත්ත්වය විමසා බැලීමටත් එළියට බැසගත් මේ අවාසනාවන්ත පියාට, අඳුරේ සැඟව සිටි වන අලියා මාරකය වී පෙරළා පහර දී තිබේ.
තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දහඩිය හෙලූ ඒ ආදරණීය පියා, අද නිහඬය. වී ටික බේරාගන්නට ගිය ඔහුට තමාගේ ජීවිතය බේරාගන්නට නොහැකි විය. ගම්මානය පුරා පැතිර යන්නේ පාලකයින්ගේ අවධානය යොමු නොවන අලි-මිනිස් ගැටුම නිසා අසරණ වන මිනිස් ජීවිතවල අදෝනාවයි.
මෙය හුදෙක් පුවතක් පමණක් නොව, අලි වැටවල් සහ විසඳුම් කඩදාසිවලට සීමා වෙද්දී, දරුවන්ගේ ලෝකය අඳුරු කරමින් පියවරුන් දැයට සමුදෙන තවත් එක් ශෝකජනක මතකයකි.