තරුණයෙක් පාර මැද්දේ තණකොළ සහ ගඩොල් කැබලි දමමින් යම් විකාරයක් කරන අයුරු දුටු ඕනෑම කෙනෙකුට මුලින් සිතෙන්නේ ඔහුට පිස්සු කියා වන්නට ඇත. නමුත් ඒ විකාරය පිටුපස තිබුණේ මනුස්සකමේ අති උත්කර්ෂවත් කතාවකි.
පාර මැද්දේ තිබූ විශාල තෙල් පැල්ලමක් (Oil Leak) නිසා මේ මල්ලි තම යතුරුපැදියෙන් ලිස්සා වැටී අනතුරකට ලක්ව තිබුණි. සාමාන්‍යයෙන් එවැනි වෙලාවක ඕනෑම අයෙක් කරන්නේ තමන්ට සිද්ධ වුණු තුවාල දෙස බලා වැටුණු තැනින් නැගිට ඉක්මනින් රෝහලකට හෝ නිවසකට යාමයි. නමුත් කපිල මල්ලි තෝරා ගත්තේ වෙනස්ම මාවතකි.
තමන්ට සිදුවූ තුවාලවල වේදනාව පසෙක තබා, තමන් වැටුණු ආකාරයටම තවත් කෙනෙක් ලිස්සා වැටී අනතුරක් කර නොගත යුතු බව ඔහු කල්පනා කළේය.
ඔහු පාරේ ගඩොල් කැබලි සහ තණකොළ දමා සලකුණු කළේ මාරාන්තික අනතුරක් වුවද සිදුවිය හැකි ඒ තෙල් පැල්ලම ගැන අනෙක් රියදුරන් දැනුවත් කිරීමටයි.
"මම විඳපු වේදනාව තවත් කෙනෙක් විඳිය යුතු නැත"යන උදාර සිතුවිල්ල ඔහු ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීය.
අපි ජීවත් වන්නේ තමන්ට ප්‍රශ්නයක් වුණාම ඒක ගැන පමණක් හිතන, අන් අය ගැන නොසලකන සමාජයක යැයි බොහෝ දෙනා පවසති. නමුත් කපිල වැනි තරුණයන් ඒ මතය බොරු කරති. තමන් කරදරයට පත්ව සිටියදී පවා අන් අයගේ ආරක්ෂාව ගැන සිතීම සැබෑ ශ්‍රේෂ්ඨත්වයයි.
මුහුණු පොත ඇසුරෙන්...