පවුල් ආරවුලක් දුරදිග ගොස් කළුතර කැලිඩෝ වෙරළ තීරයේදී දිවියෙන් සමුගත් 42 හැවිරිදි නදීෂානි තරංගිකා ගුරු මාතාවගේ මරණය පිටුපස ඇති කතාව සැබවින්ම සංවේදී එකක්.
පොලිස් වාර්තා පවසන අන්දමට මේ ගැටලුවේ මුල පටන් ගන්නේ පසුගිය 29 වැනිදායි. නදීෂානිගේ යෙහෙළියකගේ මංගල සාදයකට සහභාගී වීමට ඇයට අවශ්‍ය වුවත්, ඇයගේ සැමියා (ඔහුද නර්තන ගුරුවරයෙකි) රාජකාරි බහුලත්වය නිසා ඊට සහභාගී වී නැහැ.
මේ පිළිබඳව දෙදෙනා අතර යම් අමනාපයක් ගොඩනැඟී තිබෙනවා.
පසුව 30 වැනිදා සැමියා කොළඹ පැවති උත්සවයකට යාමට සූදානම් වීමේදී, නදීෂානි ඊට දැඩි ලෙස විරුද්ධ වී ඇති අතර නොයන ලෙස අවස්ථා කිහිපයකදීම ඔහුගෙන් ඉල්ලා තිබෙනවා.
"අම්මේ යන්න එපා..." - පුතු පසුපසින් දිව ගියත් අම්මා ත්‍රිරෝද රථයකින් යයි!
එදින සැමියා නිවසේ නොසිටි මොහොතක, නදීෂානි දැඩි ආවේගයෙන් නිවසින් පිටව ගොස් තිබෙනවා. ඇය යන අයුරු දුටු ඇයගේ එකම පුතු සහ මව "යන්න එපා" යැයි කියමින් ඇය පසුපස දිව ගියත්, වේගයෙන් ගිය නදීෂානි අල්ලා ගැනීමට ඔවුන්ට හැකි වී නැහැ. මිත්තණිය සහ පුතු බලා සිටියදීම ඇය ත්‍රිරෝද රථයක නැඟී අඳුරේම නොපෙනී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
තම බිරිඳගෙන් දිගින් දිගටම ලැබුණු දුරකථන ඇමතුම් නිසා කලබල වී නිවසට පැමිණි සැමියා, ඇය නිවසින් පිටව ගිය බව දැනගෙන එදිනම මධ්‍යම රාත්‍රී 12.40ට පමණ මොරගහහේන පොලිසියට පැමිණිලි කර තිබෙනවා. නමුත් ඒ වන විටත් සියල්ල ප්‍රමාද වැඩි වී තිබුණා.
පසුදින (මැයි 01) කළුතර දකුණ වෙරළ තීරයට ගොඩගසා තිබූ නාඳුනන කාන්තා මළසිරුර දුටු අයෙකු පොලිසියට දැනුම් දී තිබුණා. පසුව කළ පරීක්ෂණවලදී රෝහලට පැමිණි සැමියා සහ මව විසින් එය තම ආදරණීය නදීෂානි බව හඳුනාගත්තේ මහත් විලාප තබමින්.
පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙය විමර්ශනය වෙමින් පවතින මරණයක් ලෙස නම් කර ඇති අතර, ශරීරයේ රුධිර සාම්පල් රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඇයගේ අවසන් කටයුතු ඊයේ (03) වීදියගොඩ පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා.
අවසානයේ ඉතිරි වූයේ තනිවූ දරුවෙකුත්, වැළපෙන මවකුත්, සුසුම්ලන සැමියෙකුත් පමණි. ජීවිතයේ ප්‍රශ්න හමුවේ හදිසි තීරණ නොගන්නා ලෙසත්, ඉවසීම ප්‍රගුණ කරන ලෙසත් මේ කටුක සිදුවීම අපට නැවතත් පසක් කර දෙයි.