දෙහිවල ජාතික සත්වෝද්‍යානය කියන්නෙ මෙරට සංචාරක ආකර්ෂණය දිනූ ඉතාමත් ඉහළ පිළිගැනීමකට ලත් තැනක්.
අදට ඊට වසර 86ක් සපිරෙනවා.
දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය නොමදව දිනූ දෙහිවල ජාතික සත්වෝද්‍යානය ලොකු කුඩා කාගෙත් ගිමන් නිවූ නෙත් සිත් සතුටු කළ තැනක්..
1936 වසරේදී ආරම්භ කෙරුණු මෙම සත්වෝද්‍යානයේ මේ වනවිට සතුන් 4000 ක් පමණ සිටිනවා.
එමෙන්ම මෙරට සමස්ත සත්වෝද්‍යාන, සෆාරි උද්‍යානවල සිටින සතුන් සංඛ්‍යාවෙන් සියයට 80 ක් එහි වෙසෙනවා.
ක්ෂීරපායි සත්ව විශේෂ 100 ක්, පක්ෂි විශේෂ 110 ක්, මත්ස්‍ය විශේෂ 65 ක්, උරග විශේෂ 34 ක්, උභය ජීවී විශේෂ 3ක්, සමනල් විශේෂ 30 ක් සහ සාගර ජීවී විශේෂ 10 ක් දෙහිවල සත්වෝද්‍යානයේ සිටිනවා.
එම සතුන් සඳහා ආහාර ලබා දීමට මාසිකව රුපියල් මිලියන 45 ක මුදලක් වැය වන බවයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව රටතුළ පවතින තත්වය හමුවේ එම මුදල සපුරා ගැනීම දැඩි අභියෝගයකට ලක්ව ඇති අතර සංවත්සරයට සමගාමීව ඒ සඳහා මාපිය කැපකරු වැඩසටහන නමින් නව වැඩපිළිවලක් අද සිට ආරම්භ කිරීමට නියමිතයි.
සත්වෝද්‍යානයේ එක් සතෙකු හෝ සත්ව කණ්ඩායමක් භාර ගෙන ඔවුන්ට ආහාර ලබාදීමට මෙරට ඕනෑම පුරවැසියෙකුට හැකියාව පවතින බවයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත කියා සිටියේ.