රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ දේහය භූමදානය කළ දෙහිවල - රෝහල පාර ප්‍රදේශයේ සුසාන භූමියකට පොලිස් ආරක්ෂාව ලබාදී තිබෙනවා. දෙහිවල පොලීසියේ ප්‍රකාශකයෙකු සදහන් කළේ මීට දින කිහිපයකට පෙර සිට එම ස්ථානයට පොලිස් ආරක්ෂාව ලබාදීමට පියවර ගත් බවයි.
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණයේ අවසන් වාර්තාව මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් පසුගිය 28 වන දා නොතීසි නිකුත් කළා.
ඒ කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකරටයි. නඩුව යළි සැප්තැම්බර් 10 වනදා කැඳවනු ඇති. තාජුඩීන්ගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණයේ අවසන් වාර්තාව මෙතෙක් අධිකරණයට ඉදිරිපත්වී නැහැ.
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණයට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී පසුගිය 27 වන දා කැදවනු ලැබුවා. එහිදී නඩුව විභාගයට ගත් අවස්ථාවේදී රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ වසීම් තාජුඩීන්ගේ මරණය ඝාතනයක් බවට සැක පළ කරන බවයි.
මේ අතර, ඔහුගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ උල් ආයුධයකින් ගෙළ ප්‍රදේශයට පහර දී තුවාල සිදුකර ඇති බවයි. එමෙන්ම මොට ආයුධයකින් ද ඔහුට පහර දී ඇති බවට කරුණු හෙළි වී ඇතැයි රහස් පොලීසිය අධිකරණයට දැනුම් දී තිඛෙනවා.
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් සැක කටයුතු අන්දමින් සිය මෝටර් රථය තුළ පිළිස්සී මිය ගොස් සිටියදී නාරාහේන්පිට - ශාලිකා ක්‍රීඩාංගණය අසළ මාර්ගයේදී සොයා ගත්තේ පසුගිය 2012 වසරේ මැයි මස 17 වන දිනයි. ඔහු වැල්ලවත්ත - මුරුගන්පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.