තරුණියන් ඕමානයට යවමින් මිනිස් ජාවාරමක් කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවක ලබන 26 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස වවුනියාව මහෙස්ත්‍රාත් යූ. ආනන්දරාජා මහතා නියෝග කළේය.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් කළ විමර්ශනයකට අනුව සැකකාර කාන්තාව ඕමානයේ සිට පැමිණ වවුනියාව පම්පමඩුව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටියදී පුවරසන්කුලම පොලිසිය විසින් 12දා අත්ඩඅඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
එලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණේ ගිරාඳුරුකෝට්ටේ පදිංචි 33 හැවිරිදි කාන්තාවකි.
මහියංගණය ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් සැකකාර කාන්තාව තරුණියන් ඕමානයේ රැකියා ලබා දෙන බවට ඕමාන් සුල්තාන්ලාට ලිංගික ශ්‍රමිකයන් ලෙස යොමු කොට ඇති බවට විදේශ සේවා නියුක්ති කාර්යාල විමර්ශන නිලධාරීන් කළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බැව් පොලිසිය සඳහන් කළේය.
සැකකාර කාන්තාවට එරෙහිව දෙහිඅත්තකණ්ඩිය ඇතුළු මහෙස්ත්‍රාත් අධිකරණයන්හි විවෘත වරෙන්තු ඇති බවත් එම වරෙන්තු මත අත්අඩංගුවට ගැනීම කළ බවද පොලිසිය පැවැසීය.
සැකකාර කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෙනයන විමර්ශනවලට අදාළව හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පවත්වාගෙන යන නඩු සඳහා එදිනට දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කළේය.
වරෙන්තු නිකුත් කිරීමත් සමඟ ඇය පසුගිය වසරේ විදේශ රටකට පලා ගොස් සිට ඇති අතර කොවිඩ් 19 වයිරස අවදානම හේතුවෙන් පසුගිය 25 වැනිදා යළි මෙරටට පැමිණ පම්පමඩුව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත නිරෝධායනයට යොමු කොට තිබේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් වන සරත් විමලවීර, ඉඳුනිල් දිසානායක හා පුවරසන්කුලම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද එදිරිසූරිය මහතා ඇතුළු කණ්ඩායමක් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළහ.
සිද්ධිය සම්බන්ධයෙන් පුවරසන්කුලම පොලිසිය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන කරයි.
වවුනියාව - එන්. ප්‍රියදර්ශනී
මව්බිම