සහරාන් හෂීම්ගෙන් ත්‍රස්ත පුහුණුව ලබා මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා ප්‍රතිඥා දී තිබූ කාන්තාවන් පිළිබඳව තවත් තොරතුරු අනාවරණ වෙමින් පවතිනවා.
ඉන් 07 දෙනෙකු දැනට රැඳවුම් නියෝග මත පසුවන අතර, තුන්දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
ඒ අතර, සිටින බොහෝ දෙනෙකු සහරාන් හෂීම් සහ ඔහුගේ ත්‍රස්ත ක්‍රියා සඳහා සහය දුන් පුද්ගලයන්ගේ ඥාතීන් සහ සමීපතමයන්.
එම කාන්තාවන් 15 දෙනාගෙන් 05 දෙනෙකු සයින්දමරුදු ප්‍රහාරයේදී මියගොස් තිබූ අතර, ඒ අතර සහරාන් හෂීම්ගේ මව, සොහොයුරියක, මොහොමඩ් රිල්වාන්ගේ බිරිඳ මොහොමඩ් සෙයිනිගේ බිරිඳ සහ මඩකලපුව සියොන් දේවස්ථාන ප්‍රහාරකයාගේ බිරිඳ සිටින බව පොලීසිය ප්‍රකාශ කළා.
එසේම, මෙලෙස ත්‍රස්ත පුහුණුව ලැබූ සහරාන් හෂීම්ගේ තවත් සහෝදරියක්, මොහොමඩ් සාදික්ගේ බිරිඳ සහ මොහොමඩ් මිල්හාන්ගේ බිරිඳ මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.
තවත් 07 දෙනෙකු අත්අඩංගුවේ පසුවන අතර, ඒ අතර සිටින ෆාතිමා නුස්රා නමැත්තිය සහරාන්ගේ සමීපතම ඥාතියෙකුගේ බිරිඳක්.
වයස අවුරුදු 25ක් වන ඇය කාත්තන්කුඩිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක වනවා.
එසේම, කාත්තන්කුඩි ප්‍රදේශයේම පදිංචි තවත් කාන්තාවන් 05 දෙනෙකු මීට අදාළව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අතර, මොහොමඩ් මිල්හාන්ගේ බිරිඳගේ මව, ප්‍රදේශයේ පල්ලියක සභාපතිවරයාගේ දියණිය සහ බිරිඳ මෙන්ම, ගෆූර් මාමා නමින් හැඳින්වුණු පුද්ගලයාගේ බිරිඳ ද සිටින බව පොලීසිය ප්‍රකාශ කළා.
මෙම තොරතුරු අනාවරණ කළ මොහොමඩ් ඊබ්‍රාහීම් සාදික්ගේ නැගණිය වන සර්දා පෙරේදා මාවනැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.