මෙලෙස දරුවන් විකිණීමේ යෙදෙන බව කියන පෞද්ගලික ආයතනයක් පසුගියදා මොරටුව කල්දෙමුල්ල ප්රදේශයේදී ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
එහෙත් මේ සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මතද විමර්ශනයක් ආරම්භ කොට ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණද කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගෙන නොතිබිණි.
2020.09.23 දින මොරටුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති ළමාරක්ෂක කමිටුවේදී මේ සම්බන්ධයෙන් මූලික කරුණු අනාවරණය වන ලදී. මෙම පෞද්ගලික ආයතනය සිදුකරන ක්රියාවන් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ඒ අනුව ගල්කිස්ස ජේයෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්රේමරත්න මහතා විසින් මේ ආයතනය පිළිබඳ විමර්ශනය කිරීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති කේ.එස්. පුෂ්පකුමාර මහතාට නියෝග කෙරිණි.
ඒ අනුව කළ විමර්ශනයේදී ගැබිනි මවුවරුන් නේවාසිකව රඳවා ගැනීම සඳහා මොරටුව කල්දෙමුල්ල සී.පී. ද සිල්වා මාවතේ පිහිටි ගොඩනැඟිල්ලක්ද, මෙම ආයතනයේ ප්රධාන කාර්යාලය කල්දෙමුල්ල දහම් මාවතේ පවත්වාගෙන යන බවටද කරුණු අනාවරණය කරගන්නා ලදී.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් අනාවරණය කරගත් අන්දමට 2020 මැයි මාසයේ සිට මෙම ව්යාපාරය ආරම්භ කර ඇති අතර සමාජ ශාලා වෙබ් අඩවියේ පළකළ දැන්වීමට අනුව අනාරක්ෂිතව ගැබ්ගත් කාන්තාවන් මෙම ආයතනය සමඟ සම්බන්ධ වී නේවාසිකව රැඳී දරු ප්රසූතියෙන් පසු මෙම දැන්වීම් හරහා දරුවන් ඉල්ලුම් කරන දරුවන් නොමැති මවුපියන් හට දරුවන් ලබාදීමක් සිදුකරන බව හෙළිදරව් කරගන්නා ලදී.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ නිලධාරීන් විසින් සිදුකළ එම විමර්ශනයේදී ගැබිනි මවුවරු 16 දෙනකු සී.පී. ද සිල්වා මාවතේ පිහිටි ගොඩනැඟිල්ලේ නේවාසිකව සිටින බවත් තවත් නේවාසිකව සිටි ගැබිනි මවුවරු 22ක් දරු ප්රසූතියෙන් පසුව පිටව ගොස් ඇති බවත් අනාවරණය කරගන්නා ලදී. මින් මවුවරු හතර දෙනෙක් පිටව ගොස් ඇත්තේ ඔවුන්ට ලැබුණු දරුවන්ද සමඟිනි. ඉතිරි මවුවරු 18 දෙනාම තම දරුවන් හදා වඩා ගැනීම වෙනත් මවුවරුන්ට භාරදී පිටව ගොස් ඇති අතර මේ සම්බන්ධයෙන්ද කොට්ඨාස අපරාධ නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කොට නේවාසිකව රැඳී සිටි ගැබිනි මවුවරු 16 දෙනාගේ ප්රකාශ සටහන් කරගෙන ඇත.
අනුරාධපුර ප්රදේශයේ පදිංචි කාංචනා නමැත්තිය මෙහිදී ප්රකාශයක් කරමින් මෙසේ කියා සිටියාය.
“2009 අවුරුද්දේ මිස් කෝල් එකකින් තමයි මම එයාව හඳුනාගත්තේ. එයා හමුදාවේ සේවය කළේ. අපි දෙන්නා ප්රේම සබඳතාවක් පැවැත්වූවා. අන්තිමට එයාට දාව මට දරුවෙක් ලැබෙන්න හිටියා. මම ඒක එයාට කිව්වම එයා කිව්වා දරුවා නැති කරමු කියලා. එතකොට දරු ගැබට මාස 6ක්. පස්සේ ෆේස් බුක් එකෙන් මොරටුව පැත්තේ මේ ආයතනයේ අයිති මහත්තයාට කතා කරලා මෙහේ ආවා. මම කළුබෝවිල ඉස්පිරිතාලේ ෙදාස්තර මහත්තයාට ඉදිරිපත් කළා. ගැබිනි අම්මලට අවශ්ය ආහාර, විටමින් මෙහෙන් දුන්නත් දරුවා හදාගන්න අපහසු වුණා. ඒ නිසා දරුවා කාට හරි දෙන්න මම කැමැති වුණා. පොළොන්නරුවේ ජෝඩුවක් මගේ දරුවා ගන්න කැමැතියි කියලා තිබුණා. එයාලගේ නම් ගම් දන්නේ නැහැ. දරුවා දුන්නත් මට කිසිම මුදලක් හම්බ වුණේ නැහැ.”
මතුගම යට්ටපාන පදිංචි පේෂලා නමැත්තියද එවන් කාන්තාවකි.
“මම නීත්යනුකූලව විවාහ වෙලා සැමියාට දාව ගැහැනු දරුවෙක් ඉන්න කෙනෙක්. ඒත් එයා මට නිතරම ගහනවා. කරදර කරනවා. ඔහොම ඉන්න අතරේ තමයි මට පනාගොඩ කෑම්ප් එකේ සජිත් හම්බ වුණේ. අපි කිහිපවතාවක්ම අඹු - සැමියන් හැටියට හිටියා. අන්තිමට මම ගැබ් ගත්තා. මම ඒ බව සැමියාට කිව්වා. ඒත් එයා ඒක පිළිගත්තේ නැහැ. මාත් එක්ක රණ්ඩු වුණා. අන්තිමට මම දුවත් අරන් ගෙදරින් ආවා. යාළුවෙක් තමයි මට මෙතැන කිව්වේ. පස්සේ අයිති මහත්තයාට කතා කරලා මෙහෙ ආවා. මම මෙහෙ ආවා කියලා කවුරුත් දන්නේ නැහැ. ලැබෙන්න ඉන්න දරුවා රැකබලා ගන්න මට හැකියාවක් නැහැ. මට පවුලේ අයට මූණ දෙන්නත් බැහැ. සමාජයට මුහුණ දෙන්නත් බැහැ. ඒ නිසා මට ලැබෙන්න ඉන්න දරුවා මේ ආයතනයට භාර දෙනවා.”
මරදන්කඩවල නිරෝෂාද එවැන්නියකි. 2005දී විවාහ වූ ඇයට පුරුෂයා නිතර නිතර බීමතින් කරදර කරන නිසා ඔහුගෙන් වෙන්ව ඇය කටාර් රටට ගිය බවත් කියන්නීය.
“2010 කටාර් ගිය මම ලංකාවට ඇවිල්ලා 2019දී ආයෙත් ඕමාන් රටට ගියා ගෘහ සේවිකාවක් විධියට. 2020දී ආයෙත් මම ලංකාවට ආවා. ඒ ඇවිත් මගේ ඥාතියකු එක්ක සම්බන්ධකමක් පැවැත්වූවා. ඒ නිසා එයාට දාව මට දරුවකු ලැබෙන්න හිටියා. පස්සේ තමයි මෙතැනට ආවේ ලැබෙන්න ඉන්න දරුවා මෙහෙට භාරදෙන්න.”
පිටිගල මධුභාෂිණීද මෙලෙස අතවරයකට ලක්වූ කාන්තාවකි.
වෑන් රථයකින් ඇය රැකියාවට යන එන අතරතුර එම වෑන් රථයේදී හමු වූ පුද්ගලයකු සමඟ වෑන් රිය තුළ අඹු - සැමියන් ලෙස හැසිරීමේ ප්රතිඵලයක් වශයෙන් ඇයට දරුවකු ලැබීමට සිටි බවත් පසුව මෙම ආයතනය හඳුනාගෙන මෙතැනට පැමිණ ලැබුණු දරුවා ආයතනයට භාරදුන් බවත් ඇය පොලිසියට කියා සිටියාය. ඒ සම්බන්ධයෙන් කිසිදු මුදලක් නොලැබුණු බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
කොලොන්න පදිංචි මාධවී ජනප්රිය නර්තන ශිල්පිනියක් යටතේ නැටුම් කලාව ප්රගුණ කළ තැනැත්තියකි. ජනප්රිය ශිල්පිනියගේ නැටුම් කණ්ඩායමේම තරුණයකු හා සම්බන්ධකම් පැවැත්වූ බවක් කියන මාධවී ඒ අතරතුර තමා ගැබ්ගෙන ඇති බව දැන ගෙන තමා විවාහ කරගන්නා මෙන් ඇය ඔහුගෙන් ඉල්ලා ඇත.
“ඒ වෙලාවේ එයා කිව්වා එයා කසාද බැඳලා අවුරුදු නවයක දරුවෙක් ඉන්නවා කියලා. දික්කසාද නඩුවක් දාලා තියෙන්නේ. ඒ නඩුව ඉවරවෙලා කසාද බඳිමු කියලා කිව්වා. පස්සේ මම එයා ගැන හොයලා බැලුවම එයාට තව ගෑනු ඉන්න බව දැනගත්තා. ඒ අතරේ තවත් ගෑනු කෙනෙක් එයා අපි හිටිය කාමරේට එක්කගෙන ආවා. පස්සේ මම ඒ කාමරෙන් ගිහින් දරුවා දෙන්න මෙහෙට ආවා. දරුවන් නැති අම්මා කෙනෙක්ට මම දරුවා දෙන්න කැමැතියි.”
මෙවැනි කාන්තාවන් 16 දෙනකුගේ ප්රකාශත් මෙම ආයතනයේ නේවාසිකව සිට දරු ප්රසූතියෙන් පසු දරුවා හදා වඩා ගැනීමට භාරදී ඇති මවුවරුන් කිහිපදෙනකුගේ ප්රකාශත් පොලිස් නිලධාරීන් සටහන් කරගන්නා ලදී.
ඊට අමතරව මෙම ආයතනයේ කළමනාකාරිනිය, මෙන්ම නීති කටයුතු කළ නීතිඥවරියක් හා දිවුරුම් ප්රකාශ ලබාදුන් සමාදාන විනිසුරුවරුන්ගෙන් මෙන්ම ආයතනය පවත්වාගෙන යන හිමිකරුගෙන්ද ප්රකාශ ලබාගෙන තිබිණි.
එහිදී ඔහු පවසා තිබුණේ ශ්රී ලංකාව තුළ අනිසි ගැබ් ගැනීමට හඬක් නැඟීම හා යම් හෙයකින් ගැබ් ගැනීමක් සිදුවුවහොත් එම කලලයන් සුරක්ෂිත කිරීමට මැදිහත්වීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවය. 2020/2030 දක්වා දස අවුරුදු සැලැස්මක් ආරම්භ කළ බවත්, එම සැලැසුමේ එක් කරුණක් ලෙස ගැබිනි මවුවරුන්ට සහන සැලසීමේ වැඩිපිළිවෙළ සිදුකරන බවත්, ගැබිනි මවුවරු 48 දෙනකු දරුවන් බිහිකර සහනය සලසා ගෙන ඇති බවත් තවත්, මවුවරු 26ක් දරුවන් බිහිකිරීම සඳහා මෙම ආයතනයෙන් සේවය ලබා ගන්නා බවය. මෙය සමාජ සත්කාරයක් ලෙස සිදුකරන බවද ඒ සඳහා මුදලක් අය නොකරන බවද ඔහු ප්රකාශ කර තිබිණි.
සියලු ප්රකාශ සටහන් කිරීමෙන් අනතුරුව 1995 ලංකා දණ්ඩ නීති සංග්රහයේ සංශෝධන පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්ද යන්න සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා හිමිකරු හා තවත් 24 දෙනකු පිළිබඳ තොරතුරු ගල්කිස්ස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කොට්ඨාස අපරාධ විමර්ශන අංශ භාර ස්ථානාධිපතිවරයා කටයුතු කරන ලදී.
අනතුරුව මෙම දරුවන් ලබාදීම මුදල් මත සිදුවූයේ දැයි දැනගැනීම සඳහා පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ අධිකරණයට කරුණු වාර්තා කළ පුද්ගලයන් 24 දෙනාගේ ජාතික හැඳුනුම්පත් අංක ඔස්සේ මෙම ආයතනය වෙනුවෙන් ගිණුමක් පවත්වාගෙන යන්නේද? ශ්රී ලංකා මහ බැංකුව යටතේ ලියාපදිංචි වී ඇති වාණිජ බැංකු 21හි ගිණුම් පවත්වාගෙන යන්නේද යන්න සොයා බැලීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසය. ඒ සඳහා නියෝගයක්ද නිකුත් කෙරිණි.
මේ අතර මෙම විමර්ශනය ගැන ඒ වන විටත් ළමා හා කාන්තා කාර්යාංශයේද අවධානය යොමු වී තිබූ අතර ඔවුන්ද මේ සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා අධිකරණයෙන් අවසර ඉල්ලා තිබිණි.
ළමා හා කාන්තා කාර්යාංශය මේ පිළිබඳ දැනුවත් වූයේ පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස්තුමියට ලැබුණු දැනුම්දීමක් මතය.
ඒ අනුව ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්යක්ෂ ජේයෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා කුමාරි රණසිංහ මහත්මිය විසින් නියෝජ්ය පොලිස්පති ප්රියන්ත ජයකොඩි හා ජේයෂ්ඨ නියෝජ්ය පොලිස්පති ලලිත් පතිනායක යන මහත්වරුන්ගේ උපදෙස් මත විමර්ශනයක් අරඹන ලදී.
ඒ අනුව පොලිස් කණ්ඩායමක් මොරටුව ප්රාදේශීය ලේකම්, මොරටුව පරිවාස නිලධාරීන්, මොරටුව ළමා හිමිකම් ප්රවර්ධන නිලධාරීන්ගෙන් මේ සම්බන්ධයෙන් ප්රකාශ ලබාගත් අතර ඉන්පසුව පොලිස් කණ්ඩායමේ අවධානය යොමු වන්නේ මෙම ආයතනය ලියාපදිංචි හෝ නීත්යනුකූල ආයතනයක් දැයි දැනගැනීම සඳහාය.
එම දැන ගැනීමට අනුව පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව, කාන්තා කටයුතු අමාත්යාංශය හා රාජ්ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ අමාත්යාංශයෙන් මේ ගැන සොයා බලන අතර එහිදී අනාවරණය වන්නේ මෙම ආයතනය එවන් ක්රියාවක් සඳහා කිසිදු අමාත්යාංශයකින් හෝ වෙනත් රාජ්ය ආයතනයකින් කිසිදු ලියාපදිංචියක් හෝ බලපත්රයක් ලබාගෙන නැති බවය.
ඒ අනුව මෙම ආයතනය පිළිබඳ පූර්ව විමර්ශනයක් කිරීමට ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්යක්ෂිකාව විසින් එම ඒකකයේ ප්රධාන පොලිස් පරීක්ෂක ඉරේෂා ගුණසේකර මහත්මිය ඇතුළු කණ්ඩායමක් පත්කරන ලදී. ඒ අනුව විමර්ශන ඇරැඹිණි.
“මේ ආයතනයේ ගැබිනි මවුවරු ඉන්න බවට මොරටුව සෞඛ්ය නිලධාරීන් දැනුවත් වෙලයි හිටියේ. ඒ සෞඛ්ය නිලධාරීන් ඔය ස්ථානයට ගිහින් එතැන රැඳී සිටින ගැබිනි මවුවරුන්ගේ තොරතුරු ලබාගෙන තිබුණා. ඒ ගැබිනි මවුවරු බොහොමයක් දරුවන් ලැබීමට ආසන්න තත්ත්වයේ ඉන්න අය. එයාලා ක්ලිනික්වලට සහභාගි වෙන්නේ නැති බවත් අපිට දැනගන්නට ලැබුණා.”
“මොරටුව එම්.ඕ.එච්. නිලධාරීන් මේ සම්බන්ධයෙන් සෞඛ්ය මූලස්ථානයටත් දන්වලා තියෙනවා මෙතැන ලොකු ගැටලුවක් තියෙනවා කියලා. මෙන්න මෙහෙම තොරතුරු ලබාගෙන අපි මේ ගැන අධිකරණයට දැනුම් දීලා තමයි සෝදිසි වරෙන්තුවක් ලබාගත්තේ” වැටලීම් භාර ස්ථානාධිපතිනිය සඳහන් කළාය.
ඒ අනුව මෙම ස්ථානය වැටලීම සිදුකෙරිණි. ඒ අනුව මෙම ආයතනය ස්ථාන දෙකක පවත්වාගෙන යන බව හෙළිවිණි. මොරටුව කල්දෙමුල්ල ප්රදේශයේ සී.පී. ද සිල්වා මාවතේ එක් ස්ථානයක් මෙන්ම දහම් මාවතේ තවත් ස්ථානයකද මෙම නවාතැන් පොළවල් පිහිටා තිබිණි.
ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන් හා නිලධාරීන් මෙම ස්ථානවලට කඩා වදින විටත් එහි හිමිකරු එම ස්ථානයේ රැඳී නොසිටි අතර දරුවන් බිහිකිරීමේ අදහසින් මවුවරුන් විසි දෙනකු පමණ එම ස්ථානයේ සිටියහ. මේ සඳහා රහස් පොලිස් නිලධාරීන්, වෛද්යවරු හා සෞඛ්ය ප්රධානීන්ද එක්ව සිටියහ.
මේ අම්මලා හිටියේ එතරම් පහසුකම් නැතිව. එක කාමරයක අම්මලා තුනක් හතරක් හිටියා. එයාලම තමයි උයාගෙන කන්නේ. අපි අම්මලාගෙන් ප්රශ්න කළාම එයාලා කිව්වා වෑංජන දෙකක්් එක්ක බත් උයාගෙන කන්නේ කියලා.
මේ අම්මලා බලා කියාගන්න තවත් පාලිකාවක් හිටියා. එයාට මාසයකට රුපියල් පනස්දාහක් දෙනවා කියලා දැනගත්තා.
මේ සේරම අම්මලා දරුවෝ බිහිකරන්න ආසන්න අය. අපිට ලැබුණු තොරතුරුවලට අනුව අම්මලා දරුවා බිහිකරන්න ආසන්න වුණාම මෙයාලා ඒ අම්මාව රෝහලක ගෙනියනවා. දස දෙනෙක්ම ගෙනිහින් තියෙන්නේ කළුබෝවිල රෝහලට.”
රෝහලේදී දරුවා ලැබෙනකම්ම මේ අය ඒ අම්මා ගැන හොයනවා. අම්මට දරුවා ලැබුණට පස්සේ දවසක් දෙකක් ඇතුළත අම්මාව ආයෙත් මේ ආයතනයට ගෙනත් ඊළඟ දවසේ නැත්නම් දවස් දෙක තුනක් ඇතුළත ඒ ලැබුණු දරුවා වෙනත් අම්මා කෙනකුට නැත්නම් වෙනත් පාර්ශ්වයකට දෙනවා.”
ආයතන තුළ ක්රියාත්මක වන දරුවන් විකිණීමේ ජාවාරම සිදුවන්නේ මෙවන් ආකාරයට බව ළමා හා කාන්තා කාර්යාංශය කියන්නේය.
ගැබිනි මවුවරුන් මෙම ආයතනයට ගෙන්වා ගැනීම සිදුවන්නේද සමාජ ජාලා හා ෆේස් බුක් හරහා සංවේදී දැන්වීම් පළකිරීමෙන්ය.
“ඔබ කිසියම් අතවරයකට හෝ කරදරයකට ලක්ව දරුවකු ලැබෙන්නට සිටින අයෙක්ද, ඔබේ දරුවා කිසිදු ආකාරයකින් නැති කිරීමට කටයුතු නොකරන්න. එවැනි ඔබ හා ඔබට ලැබීමට සිටින දරුවා අපි ඔබට රැකදෙනවා. ඔබටත් එමඟින් රැකවරණය ලැබේවි..”
එවන් අදහස් ඇති දැන්වීම් සිය ෆේස්බුක් ජාලයේ සඳහන් කරන මොහු දරුවන් නැතැයි කීම පාපයක් බවත් එවැනි මවුවරුන්ට දරුවන් ලබාදිය හැකි බවත් කියමින් පුංචි අතදරුවන් සමඟ සමාජ ජාලාවල පෙනී සිටිමත් සිදුකරන්නට විය.
මෙවැනි දැන්වීම් දුටු බොහෝ කාන්තාවන් මොහු හා සම්බන්ධ වූයේ මෙතෙක් කල් හිසරදයක් මෙන්ම ලොකු බරක් හිතෙන් නිදහස් කර ගැනීමේ හැකියාව ලැබූ නිසාය. මෙම කාන්තාවන් බොහෝමයක් අනිසි සබඳතා මඟින් ගැබ්ගත් අයවීම විශේෂත්වයකි. අතවරයකට පත්ව දරුවකු පිළිසිඳ ගැනීම නිසා දැඩි ලෙස අසරණ වූ කාන්තාවන් සිය ගැබද සමඟ මොහු සොයා ආවේ කරන්නට දෙයක් නැතිම තැනය.
මෙවන් තත්ත්වයකට පත්ව අසරණව සියදිවි හානිකරගන්නට ගත් උත්සාහයන්ද නිෂ්ඵල වී ගිය තැන හෝ සමාජයට, මවුපියන්ට, සැමියන්ට, පෙම්වතුන්ට මුහුණ දීමට නොහැකිව වස විස බී දිවි නසාගන්නට තැත්කළ ගැබිනියෝද මේ ආයතනය සොයා ආහ.
“මෙහෙම අසරණ වුණු කාන්තාවන් මේ ආයතනයට ආවාම එයාලට පෝර්ම් එකක් දෙනවා පුරවලා දෙන්න. ඉන්පස්සේ ඒ අම්මට දරුවා ලැබෙනකම් ඒ ස්ථානයේ නතර වෙලා ඉන්න පුළුවන්.. දරුවා ලැබෙනකම්ම එයාලා බලා ගන්නවා. දරුවා ලැබුණට පස්සේ දරුවා හදා වඩා ගන්න වෙනත් අම්මා කෙනකුට දෙනවට කැමැත්තක් මෙයාලා ගන්නවා. ඔන්න ඔහොම කැමැත්ත ගන්න අම්මලාට ලැබුණු දරුවෝ 43ක් විතර මෙයාලා වෙනත් පාර්ශ්වවලට ලබාදීලා තියෙනවා. ඒ මොහොත හරිම සංවේදී මොහොතක්. අනිසි ආකාරයට ලැබුණා වුණත් ඒ දරුවා ඒ අම්මගේ තමන්ට ලැබුණු ඒ දරුවා වෙනත් අම්මලාට දෙන මොහොතේ දරුවා ලැබුණු අම්මාගේ ඇස්වලින් කඳුළු කඩා වැටෙනවා. ඒ නිසා සමහර අම්මලා මුලින් කැමැති වුණත් දරුවා ලැබුණට පස්සේ දෙන්න අකැමැති වෙලා තියෙනවා. ඒ නිසා ඒ අම්මලාත් ආයතනයේ හිමිකරුවනුත් අතර ගැටලු ඇතිවෙලා තියෙනවා කියලා අපිට තොරතුරක් ලැබුණා.”
මෙලෙස බිහිවෙන දරුවන් ලබා ගැනීමට එන මවුවරුන් විශාල පිරිසක්ම දරුපල නැති කාන්තාවන් වේ. මේ කාන්තාවන් අතර දරුවකු ලබා ගැනීම සඳහා වෙහෙර විහාර, දේවාල, පල්ලි ගිය පිරිස්ද බොහෝය. දරුපල ලබන්නට විශාල මුදලක් වියපැහැදම් කොට ඇති සමහර අඹුසැමියන් මෙම ස්ථානයට පැමිණ දරුවකු ලබාදෙනවා නම් ඒ සඳහා ඕනෑම මුදලක් විය පැහැදම් කිරීමටද කැමැත්ත පළකර තිබිණි.
“දරුපල නැති කාන්තාවන් මෙතැනට ඇවිත් දරුවකු ඉල්ලලා හිටියා. කොහොමහරි මේ කාන්තාවට දරුවකු ලබාදෙන්න මේ ආයතනය පොරොන්දු වෙලා තිබුණා. ඒ සතුට නිසා ඒ අම්මා ගෙදර ගිහින් දරුවා ලැබෙනකම් ජීවත්වෙලා තිබුණේ කොට්ටයක් බඩට බැඳගෙන. දරුවකු ලැබෙන විදියට කාලයක් ඉඳලා දරුවා ගෙදර අරගෙන යනකොට තමයි කුසේ තිබුණු කොට්ටය ඉවත් කරලා තිබුණේ.”
මෙවන් කාන්තාවන්ද මෙම ආයතනයට පැමිණ දරුවකු ලබාගැනීම සඳහා දැඩි උත්සාහයක් දරා තිබිණි. ඒ සඳහා ඕනෑම පරිත්යාගයක් කිරීමටද ඔවුන් කැමැත්ත පළකර තිබේ.
පොලිස් කණ්ඩායම් මෙම ස්ථානවලට කඩා වදින මොහොතේ එතැන සිටි ගැබිනි මවුවරුන් 20ට අමතරව තවත් මවුවරු පස්දෙනකුද වූහ. ඒ මවුවරුන් දරුවෝ ප්රසූත කොට ඒ දරුවන් වෙනත් පාර්ශ්වවලට ලබාදී නිවෙස්වලට යෑමට නොහැකිව සමාජයට මුහුණ දිය නොහැකිව එම ස්ථානයේ නේවාසිකව නතරවී සිටි අය බවට නිලධාරිනියන් හඳුනා ගැනිණි.
මේ අතර අත දරුවන් තුන් දෙනකු සමඟ මවුවරුන් තුන්දෙනකුද සිටි අතර එම මවුවරුන් තම ඉපදුණු දරුවන් සමඟ එම ස්ථානයේ රැඳී සිටින්නේ කුමන බලාපොරොත්තුවෙන්ද යන්න දැනගැනීම සඳහා ඔවුන්ගේ ප්රකාශ සටහන් කරගන්නට නිලධාරීන් කටයුතු කරන ලදී.
මේ අතර මෙම ගැබිනි මවුවරු දරුවා බිහිකොට වෙනත් පාර්ශ්වයට ලබාදීමෙන් අනතුරුව එම දරුවා බිහිකළ මව නොසලකා හරින බවද බොහෝ මවුවරු පොලිස් නිලධාරිනියන් ඉදිරියේ පවසා ඇතැයි කියති.
“දරුවා ලැබෙනකම්ම මෙයාලා ඒ අම්මා ගැන හොඳට හොයලා බලනවා. දරුවා ලැබෙන්න ඉස්සෙල්ලා ඒ අම්මට නොයෙකුත් පොරොන්දු දෙනවා. දරුවා හදා වඩා ගන්න කට්ටිය ඒ අම්මට උදවු කරාවි කියලත් තියෙනවා. දරුවා ඕනෑ වෙලාවක බලන්න පුළුවන් කියලත් කියනවලු. දරුවා දුන්නට පස්සේ ඒ අම්මලා ගැන මේ අය හොයන්නෙවත් නැහැයිලු. වදපු අම්මට දරුවා දැකගන්න ආශාවක් තිබුණත් ඒ ගැන අහන්න කතා කරද්දි දුරකථනයට එන්නේවත් නැතිලු.”
විමර්ශන නිලධාරිනියක් අප සමඟ කීවාය. අලුත උපන් දරුවා වෙනත් පාර්ශ්වයකට දුන්නද ඒ දරුවා බිහිකළ මවුවරුන්ට කිසිදු මුදලක් මෙම ආයතනයෙන් ගෙවා නැත. ඒ දරුවන් ලබාගත් පාර්ශ්වයෙන් රුපියල් 1,50,000 හා 1,70,000 ආදී ලෙස මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු හෙළි වී ඇති අතර ඒ සම්බÂධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.
දරුවකු ලබාදීම සඳහා කිසිදු ආකාරයකින් ප්රතිෂ්ඨාවකට එළැඹිය නොහැකි වුවද මෙම ආයතනය සමාජ සත්කාරය ඉටු කිරීමේ අරමුණින් කිසිම මුදලක් අය කිරීමක් නොමැති බව සඳහන් කර තිබුණද මෙම ආයතනයෙන් දරුවන් ලබාගත් අයවලුන්ගෙන් එක් අයකු දහම් මාවතේ පවත්වාගෙන යන කාර්යාලය වෙනුවෙන් කුලිය ලෙස රුපියල් 38,000ක්ද, තවත් පාර්ශ්වයක් සී.පී. ද සිල්වා මාවතේ පවත්වාගෙන යන ගොඩනැඟිල්ල වෙනුවෙන් රුපියල් 45,000ක්ද තවත් එවන් පුද්ගලයකු මසකට දෙවතාවක් එළවළු හා පලතුරු ලබාදීමටද තවත් දරුවකු ලබාගත් අයකුගෙන් ශීතකරණයක් මිලදී ගැනීම සඳහා රුපියල් 170,000ක මුදලක්ද ලබාදී ඇති බව විමර්ශනයේදී හෙළිවී තිබේ.
මේ අතර ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අධිකරණයට කළ කරුණු වාර්තා කිරීමට අනුව සමාදාන විනිශ්චයකාරවරයකු මඟින් දරුවා බිහිකළ මවගෙන් කැමැත්ත ප්රකාශිත දිවුරුම් ප්රකාශයක් මඟින් දරුවා භාරගන්න මවුපියන්ට ලබාදෙන අතර දරුවා භාරදීම අධිකරණ නියෝගයක් නොමැතිව සිදුකරන බවට කරුණු අනාවරණය වන බවද පෙන්වා දෙයි. මේ හේතුවෙන් දරුවන්ගේ සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ගැටලු මතුවන බවද මේ සම්බන්ධයෙන් කටයුතු කරන නීතිඥවරිය නීතිඥ ගාස්තු ලෙස එක් දරුවකු කුල වැද්දීම සදහා රුපියල් 57,000ක් ලබාගන්නා බවට අනාවරණය වී ඇති බවද අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාගැනීම සඳහා අදාළ ආයතනයට හිමි හා එම ස්ථානය පවත්වාගෙන ගිය හිමිකරුට පැමිණෙන ලෙස ළමා හා කාන්තා කාර්යාංශය කිහිප වතාවක්ම දැනුම්දුන් ඔහු එම ඉල්ලීම එතරම් මායිමකට ගෙන නොතිබිණි.
පසුව ජංගම දුරකථන ඔස්සේ කරන ලද සියුම් විමර්ශනයකින් පසු සැකකාර හිමිකරු මාතලේදී කොටුකර ගැනීමට ප්රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර ඇතුළු කණ්ඩායමකට හැකිවිය.
මාතලේ, උකුවෙල ප්රදේශයේ පදිංචිකරුවකු වන 47 හැවිරිදි සැකකරුගෙන් ප්රකාශ ලබාගැනීම ඉන් අනතුරුව සිදුවිය.
''ශ්රී ලංකාව තුළ අනියම් ගැබ් ගැනීම වළක්වා ගැනීම වගේම අනියම් සබඳතා නිසා ගැබ්ගත් දරුවන් සුරක්ෂිත කිරීමට මැදිහත්වීම, අනියම් ගැබ්ගත් කාන්තාවන් සුරක්ෂිත කිරීමට හඬක් නැඟීමටත් මට වුවමනා වුණා. ගබ්සාවට තිත තැබීම ඉන් එක් කාරණයක්.''
''මේ සඳහා තැනක් තිබුණේ නැහැ. ඒ නිසා කුලී පදනම මත මෙම ගොඩනැඟිලි ලබාගත්තා මාසිකව 38,000න් 44,000ටත්. මුලින්ම පැමිණියේ විශ්වවිද්යාල ශිෂ්යාවක්. ටිකෙන් ටික අනියම් ලෙස ගැබ්ගත් කාන්තාවන් වැඩිවුණා. මේ දරුවන් හදා වඩා ගැනීම සඳහා කුලවැද්දීම සම්බන්ධ නීතිමය කටයුතු නීතිඥවරියක් විසින් සිදුකළා.''
''මේ ගැබිනි මවුවරු දරුවන් බිහිකළේ රජයේ රෝහල්වල. ඒ සඳහා නීතිඥ ගාස්තු ලබා ගත්තා. විද්වතුන්, බුද්ධිමතුන් මෙතැනට ඇවිත් මේ සම්බන්ධයෙන් උපදෙස් දීලා තිබුණා. මුහුණු පොත හරහා මේ ගැන දැන්වීම් පළවුණා. ඉරිදා පුවත්පතක් අප ආයතනය සිදුකරන කර්තව්යය පිළිබඳ ලිපි පෙළක් ඉදිරිපත් කළා. ජනතාව දැනුවත් වෙලා උදවු කළා ආයතනය පවත්වාගෙන යෑමට සමහර අය පොරොන්දු වුණා. මුහුණු පොතේ දරුවන් සමඟ පෙනී සිටිමින් අදහස් විස්තර පළකළා. ගබ්සාව කරන පිරිමින්ට එය නොකරන්නට පණිවුඩයක් දෙන්නයි ඕන වුණේ. ඒ නිසා මේ ආයතනය ප්රසිද්ධ වුණා.''
මෙහිදී ඔහු නිලධාරීන් හමුවේ පවසා ඇත්තේ ගැබිනි මවුවරුන් 50කට ආසන්න පිරිසක් ආයතනය විසින් බඳවාගෙන ඇති බවය. පරිත්යාගශීලීන්ගෙන් ලැබෙන මුදල් මවුවරුන්ගේ වියදම් සඳහා යොදවන බවද ප්රශ්න කිරීමේදී සැකකරු පවසා ඇතැයි කියති.
අත්අඩංගුවට ගත් සැකකරු ළමා හා කාන්තා කාර්යාංශය විසින් මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර දැඩි ඇප කොන්දේසි සහිතව රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහැරීමට අතිරේක මහෙස්ත්රාත් නුවන් කෞෂල්ය මහතා නියෝග කරන ලදී.
සැකකරුට විදේශ ගමන් තහනම් කළ අතර සාක්කිකරුවන්ට බලපෑම් නොකරන ලෙසත් ගර්භණී මවුවරුන් ආයතනයට බඳවා නොගන්නා ලෙසත් සෑම මසකම මුල් ඉරුදින ළමා හා කාන්තා කාර්යාංශයේ පෙනී සිටින ලෙසත් මහෙස්ත්රාත්වරයා සැකකරුට නියම කරන ලදී.
ජේයෂ්ඨ නියෝජ්ය පොලිස්පති ලලිත් පතිනායක, නියෝජ්ය පොලිස්පති ප්රියන්ත ජයකොඩි යන මහත්වරුන්ගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්යක්ෂ ජේයෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා කුමාරි රණසිංහ මහත්මියගේ මෙහෙයවීම මත පොලිස් අධිකාරි ලොකුහෙට්ටිගේ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිනි ප්රධාන පොලිස් පරීක්ෂක ඉරේෂා ගුණසේකර හා මහජන සම්බන්ධතා අංශයේ ස්ථානාධිපති මනෝජ් සමරසේකර ඇතුළු නිලධාරීහු මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරති.
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්...