මේ වන විට දිවයිනේ නන්දෙසින් හඳුනානොගත් පුද්ගල මළසිරුරු රාශියක් පිළිබඳව තොරතුරු වාර්තා වුණා. පසුගියදා රාජගිරිය ප්‍රදේශයෙනුත් එලෙස මියගිය පුද්ගලයෙකුගේ ඇටසැකිල්ල හමුවූයේ ඔහු නිදා සිටි ඇඳේම තිබියදීයි.
මේ වන විට කොළඹ බම්බලපිටියේ පැරඩයිස් මහල් නිවාසයේ හයවැනි මහලේ නිවෙසක හුදෙකලාව සිටි 45 හැවිරිදි රුස්ඩි රජීව් නමැත්තකු නිවස තුළ මියගොස් සිටියදී පෙරේදා රාත්‍රි පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
මත්පැන් බෝතලයක්ද රැගෙන පසුගිය 16 දින නිවෙසට ඇතුළුවීමෙන් පසු ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් දැනගන්නට ලැබී නැති අතර ඔහු පදිංචිව සිටි නිවෙස ඉදිරිපස පිහිටි නිවෙසේ පදිංචි අයට එම නිවෙස තුළින් දුගඳක් හමනු දැනී ඒ පිළිබඳ ඔහුගේ ඥාතීන්ට සහ පොලිසියට දැනුම්දී ඇති තිබෙන බවට පොලිසිය ප්‍රකාශ කරනවා. එම පුද්ගලයා මියගොස් දින 06ක් පමණ ගතවී ඇති බවට පොලිසිය සැකකරයි.
එම මළසිරුර සොයාගන්නාවිට එය බෙහෙවින් නරක්වී තිබුණු බව පරීක්ෂණ මෙහෙයවන උසස් පොලිස් නිලධාරියකු පවසා තිබෙනවා.
මොහු මත්පැන් බෝතලයක් රැගෙන ඔහුගේ නිවෙසට ඇතුළුවෙන ආකාරය සී.සී.ටී.වී. කැමරාවලින් සනාථ වී ඇති බවද පොලිසිය පවසන අතර එම මරණය පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ දහවල් මහල් නිවෙසේදී පැවැත්විණි. කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට මහතාගේ උපදෙස් මත බම්බලපිටිය පොලිස් ස්ථානාධිපති කමල් පෙරේරා මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.