මහවිරු පණ්ඩු කියන්නේ ඇත්තටම ඓතිහාසික ටෙලිනාට්‍ය, එහෙමත් නැත්නම් ඓතිහාසික චිත්‍රපට කියලා කිසිම වෙනසක් මම දකින්නේ නෑ. මොකද මම ටෙලිනාට්‍ය කරන්නෙත් චිත්‍රපට කරන ආකාරයෙන්මයි.
මම මගේ නිර්මාණ කටයුත්තට කුමන මාධ්‍ය යොදා ගත්තත් එකසේ කැපවෙනවා ඒ කටයුත්ත වෙනුවෙන්. ඒ නිසා මම චිත්‍රපට, ටෙලිනාට්‍ය කියලා මාධ්‍ය සම්බන්ධයෙන් වෙනසක් දකින්නේ නෑ. මම සිනමාවේ වගේම ඉතාම පුළුල් පරාසයකට ටෙලිනාට්‍ය තුළින් ගමන් කරනවා. මහවිරු පණ්ඩු කියන්නෙත් ඒ වගේ නිර්මාණයක්.
බුදු හාමුදුරුවෝ පිරිනිවන් මංචකයේදී ප්‍රාර්ථනා කරනවා, මගේ පිරිනිවනින් පසු වසර 5000ක් යන තුරු මගේ සම්බුද්ධ ශාසනය පවතින එකම රට මේ හෙළදීපය කියලා. මම ඉගෙනගත්ත ඉතිහාසයට අනුව මට හිතෙන්නේ බුදුහාමුදුරුවන්ගේ ප්‍රාර්ථනයක් අනුව තමයි පණ්ඩුකාභය කුªමාරයා ලංකාවේ රජ වෙන්නේ ශාක්‍ය වංශයෙන් ඇවිත්.
බුදුහිමිගේ වැඩිම ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ ඉන්නේ අනුරාධපුරයේ. අනුරාධපුරය කියන නගරය හදන්නේත් පණ්ඩුකාභය කුමාරයා. ලංකාවේ පළමුවැනිම වැව හැදුවෙත් පණ්ඩුකාභය රජු. ඒ බසවක්කුලම වැව.
එතැනින් පස්සේ තමයි මේ රට ස්වයංපෝෂිත වීම ආරම්භ වෙන්නේ. අපට පැහැදිලිව පේනවා බුදුහිමිගේ ප්‍රාර්ථනය පරිදි බුදුහිමිගේ ධාතුන් වහන්සේලා ස්ථාපිත වෙන්න පෙර අනුරාධපුරය කියන ගම නිර්මාණය වෙලා ඊට අවශ්‍ය පරිසරය සැකසිලා මේ රට බුදු හිමිගේ ධාතුන් වහන්සේලා ස්ථාපනය වෙන්න අවශ්‍ය වටපිටාව නිර්මාණය වුණා.
ලංකා ඉතිහාසයේ ශේ්‍රෂ්ඨතම රජතුමා තමයි පණ්ඩුකාභය කියන්නේ. මහාවංශයට අනුව ලංකා ඉතිහාසයේ එක දිගට අවුරුදු 70ක් රජකම් කළ එකම රජු තමයි පණ්ඩුකාභය. පණ්ඩුකාභය කතා පුවත තමයි අපි කොටස් 500කින් විකාශනය කිරීමට බලාපොරොත්තු වෙන්නේ.
පණ්ඩුකාභය කතා පුවත ටෙලි නිර්මාණයක් බවට පත්කිරීමේ අදහස ගොඩනැඟෙන්නේ කොහොමද?
හිරු නාළිකාවේ සභාපති රෙනෝ සිල්වා මහතාගේ අදහසකට අනුව තමයි මේ නිර්මාණය සිදුවෙන්නේ. රෙනෝ සිල්වා මහතාට අවශ්‍ය වෙලා තිබුණා ඓතිහාසික කතාවක් ටෙලි නිර්මාණයක් ලෙස නිර්මාණය කිරීමට. එහිදී අපි සාකච්ඡා කරද්දි පණ්ඩුකාභය කතාව පිළිබඳ අදහස මතුවුණා.
රෙනෝ සිල්වා මහතා තුළ පණ්ඩුකාභය කතාව ගැන විශාල උනන්දුවක් තිබුණා. එතුමාගේ හදවතේ තිබුණු කැමැත්ත, ඓතිහාසික කතාවක් ටෙලිනාට්‍යයක් බවට පත් කර රඟ දැක්වීම ආදී කාරණා නිසා තමයි අවසානයේ මහවිරු පණ්ඩු නිර්මාණය වෙන්නේ.
ඉතිහාසය සිනමාවට, ටෙලිනාට්‍යයකට නැඟීම සුළුපටු නෑ. ඒ පිටුපස විශාල ගවේෂණයක්, පර්යේෂණයක් තියෙන්න ඇති. ඒ ගැන පැවසුවොත්?
මම ඓතිහාසික සිනමා කතා ආරම්භ කරන්නේ මහින්දාගමනයෙන්. මහින්දාගමනයේ තිර පිටපත ලියන්න මට පොත්පත් විශාල ප්‍රමාණයක් කියවන්න සිදුවුණා. ඒ ක්‍රි.පූ. 250 යුගය පිළිබඳව. මෙහිදී මට උපදෙස් දෙමින් මාව මෙහෙයවූයේ පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හාමුදුරුවෝ.
ඒ වගේම පල්ලේගම හේමරතන නායක හාමුදුරුවෝ, වෙඬරුවේ උපාලි අනුනායක හාමුදුරුවෝ, ආචාර්ය මල්වානේ චන්ද්‍රරතන නායක හාමුදුරුවෝ වැනි ස්වාමීන් වහන්සේලාගෙන් ලද පන්නරය. ඒ ඇසුර හා කියවීමට ලැබුණු පොත් පත් අති විශාලයි.
මගේ දෙවැනි නිර්මාණය වෙන්නේ සිරි දළදාගමනය, එහිදී දළදාගමනය පිළිබඳ මම විශාල වශයෙන් හැදෑරීමක් කළා. මහාවංශය සම්පූර්ණයෙන්ම කියවීමට සිදුවුණා. මහවිරු පණ්ඩු නිර්මාණය වෙන්නේ මහාවංශය මූලාශ්‍ර කොටගෙන. ඒ ගැනත් විශාල ගවේෂණයක් කරලා තමයි මම මෙය නිර්මාණය කළෙත්.
මහවිරු පණ්ඩු කියන්නේ වැඩි පිරිසක් යොදාගෙන වැඩි පිරිවැයක් දරමින් සිදුකළ නිර්මාණයක්?
අද වන විට ටෙලිනාට්‍ය කලාව අඩු වියදමින්, අඩු කාල සීමාවකින් බොහොම චාමෙට සිදු වෙන්නේ. එයට හේතුව තමයි විශාල පිරිවැයක් දරමින් නිර්මාණ කළත් ඒවා අලෙවි කර ගැනීමේ දී ගැටලු මතු වීම.
නමුත් රෙනෝ සිල්වා මහතාගේ මැදිහත් වීම මත නිර්මාණය කෙරුණු මහ විරු පණ්ඩු ටෙලිනාට්‍යයට එවැනි දුෂ්කරතා අත්විඳීමට සිදුවුණේ නෑ. එතුමාගේ මැදිහත් වීම නාට්‍ය කලාවේ අපි හැමෝම ලබා ගත් ජයග්‍රහණයක් වගෙයි. එතුමා සෑම විටම සිතන්නේ පිරිවැය හෝ විඳීමට සිදුවන දුෂ්කරතා පිළිබඳ නොවෙයි.
නිර්මාණයේ සාර්ථකභාවය පිළිබඳවයි. කතා රසය නොනසා කතාව ප්‍රේක්ෂකයා වෙත ගෙන යෑම වෙනුවෙන් එතුමා අසීමිත විදියට මුදල් වියදම් කරනවා. අද කාලේ නිෂ්පාදකයන්ගෙන් මේ විදිහේ සහයෝගයක් ලැබෙන්නේ නෑ. බලාපොරොත්තු වෙන්නත් බෑ. කලා රසයට මුල්තැන දීලා නිර්මාණයේ ගුණාත්මක භාවය ගැන හිතන මෙවන් නිෂ්පාදකවරයෙක් ඇත්තෙන්ම ලැබීම වාසනාවක්.
නිර්මාණයේ චරිත සඳහා ශිල්පීන් තෝරා ගැනීම සිදුවුණේ මොන විදිහටද?
මෙහි සියලුම චරිත මමත් , හිරු නාළිකාවේ අධිපති රෙනෝ සිල්වා මහතාත් එකතුවෙලා සාකච්ඡා කරලා තමයි තෝරාගත්තේ. එහිදී කතාවේ ප්‍රබලත්වය මතු කළ හැකි, නිර්මාණයේ රස නොනැසෙන පරිදි නළු නිළි පිරිස තෝරාගත යුතුයි. දැනට මේ නිර්මාණය හා විශාල පිරිසක් සම්බන්ධ වෙලා ඉන්නවා. ප්‍රධාන නළු නිළියන් 50කට අධික ප්‍රමාණයක් සම්බන්ධ වෙලා ඉන්නවා.
මම මුලදීත් කිව්වා මට සිනමාවෙත්, ටෙලි නාට්‍යයෙත් වෙනසක් නෑ කියලා. මොකද සිනමාවේ මෙන්ම භාවාත්මක ප්‍රකාශන මතුකර ගැනීමට කුඩා කොටසකට පවා හොඳ චරිත යොදා ගන්නවා. ඒ දේ අපි මේ නිර්මාණයේදී සිදුකරලා තියෙනවා. මට එවැනි පරාසයකට යෑමට රෙනෝ සිල්වා මහතා මූල්‍ය දායකත්වය ලබා දුන්නා.
මහවිරු පණ්ඩු තුළින් යම් ආකාරයකට ශාක්‍ය වංශය ඉස්මතු කරන බවත්, පණ්ඩුකාභය කියන්නේ ශාක්‍ය වංශිකයකු නොවන බවටත් චෝදනා නැඟීමක් සිදුවෙනවා නේද?
බුදු හාමුදුරුවෝ මෙලොව එළිය දකින්නේ පස් මහ බැලුම් බලලා. ඒ ශාක්‍ය කුලයේ. ශාක්‍ය කුලය කියන්නේ මේ ලෝකයේ තියෙන උසස්ම කුලය. සිදුහත් කුමරුගේ මවු පාර්ශ්වයත් පිය පාර්ශ්වයත් ශාක්‍ය කුලයේ වීම නිසා තමයි සිදුහත් කුමරු ශාක්‍ය කුලයේ වුණේ.
මෙතැනදීත් භද්දකච්චායනාගේ දුව උන්මාද චිත්‍රා. උන්මාද චිත්‍රා ශාක්‍යවංශිකයි. භද්දකච්චායනාගේ මල්ලිගේ පුතා දීඝගාමිණී. ඔහුත් ශාක්‍ය වංශිකයි. දීඝගාමීණි හා උන්මාද චිත්‍රා කියන්නේ මවු පාර්ශ්වය හා පිය පාර්ශ්වය. මේ දෙකම ශාක්‍යවංශයේ. ඒ අනුව තමයි පණ්ඩුකාභය ශාක්‍යවංශික වුණේ.
නමුත් ශාක්‍යවංශික වුණාට පණ්ඩුකාභය කුමරුට අම්මාගෙන් එක කිරි බිඳුවක්වත් බොන්න ලැබුණේ නෑ. ඒ නිසා ශාක්‍යවංශික වීමේ ප්‍රබලකමක් නෑ. එතැනින් පසුව කුමාරයා කිරි බොන්නේ යක්ෂ, රාක්ෂ, නාග, දේව කියන සිවු හෙළයේ කුලයන්ගෙන්. ඒ වගේම ලංකාවේ රජ වෙන්නේ ලංකාවේ ඒ වන විට සිටි සිවු හෙළයේ කුලවල ජනතාවගේ කරපිටින් ගිහින්.
ගුත්තිල චිත්‍රපටයේ වැඩ අවසන් නේද?
ගුත්තිල චිත්‍රපටයේ වැඩ අවසන් කරලා තියෙනවා. රටේ තත්ත්වය බලලා ගුත්තිල ජනවාරි මාසයේ තිරගත කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
මව්බිම - හදගැස්ම