2000 ඔක්‌තෝබර් 13 දින හෝ එයට ආසන්න දිනයක නාත්තන්ඩියේදී ස්‌ත්‍රී දූෂණය සිදු කිරීම සහ ඉහත සඳහන් වේලාවේදී එම ස්‌ථානයේදී එකී ක්‍රියා කලාපයේ දීම ඇයට අස්‌වාභාවික ලිංගික ක්‍රියාවක් සිදුකිරීම යනුවෙන් චෝදනා දෙකක් යටතේ චූදිත අධිචෝදනා ලබා සිටියා.
චූදිත අධිචෝදනාවන්ට නිවැරදිකරු බව ප්‍රකාශ කිරීම මත නඩුව විභාගයට ගෙන තිබෙනවා.
ඒ වන විට 20 හැවිරිදි වින්දිත තැනැත්තිය කලුතර නුගගොඩ පදිංචිකාරියක්.
ඇයගේ නංගි නාත්තන්ඩිය මැද නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචිව සිටියෙන් වින්දිත තැනැත්තිය නංගිගේ නිවසට පැමිණ සිටියදී චූදිත සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.
සිද්ධිය වූ දින චූදිත ඇය පා පැදියක නංවාගෙන පාළු නිවසකට කැඳවාගෙන ගොස් බලයෙන් දූෂණය කර ඇති බව නඩු විභාගයේදී හෙළිදරව් වුණා.
අධිචෝදනා දෙකටම චූදිත වරදකරු බව මහාධිකරණ විනිසුරු වයි. ප්‍රනාන්දු මෙනවිය සඳහන් කළෙත් චූදිතට දඬුවම් නියම කිරීමට පෙර චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සමන්ත ප්‍රනාන්දු මහතා චූදිතට නියම කරන දඬුවම් ලිහිල් කර ගැනීමට කරුණු දක්වනු ලැබුවා.
වයස අවුරුදු 50 ක් ඉක්‌මවා සිටින චූදිතගේ අත්දෙකම අතුරෙන් වැටී කැඩී එය වැරදි ලෙස පෑස්‌සී ඉතා දුෂ්කර ජීවිතයක් ගෙවන බව සඳහන් කළා.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ හිමාලී ජයනෙත්ති මහත්මියද කරුණු දැක්‌වීමෙන් පසු මහාධිකරණ විනිසුරු වයි. ප්‍රනාන්දු මෙනවිය චූදිතට චෝදනා දෙකට වසර 10 බැගින් බරවැඩ සහිත වසර 20 ක සිර දඬුවම් නියම කරනු ලැබුවා.
එයට අමතරව පළමුවන චෝදනාවට රුපියල් විසිපන්දහසක දඩයක් නියම කර දඩ මුදල නොගෙවන්නේ නම් බර වැඩ සහිත මාස 06 ක් සිර දඬුවමක් නියම කළා.
එක් චෝදනාවකට රුපියල් ලක්‍ෂ දෙක බැගින් චෝදනා දෙකට රුපියල් ලක්‍ෂ හතරක් වින්දිත තැනැත්තිය වන පැමිණිලිකාරියට ගෙවීමටද නියම කළ මහාධිකරණ විනිසුරු වයි. ප්‍රනාන්දු මෙනවිය වන්දි මුදල් නොගෙවන්නේ නම් වසර දෙක බැගින් බරවැඩ සහිත වසර හතරක සිරදඬුවමක් නියම කරනු ලැබුවා.
ඒ අනුව නියම කරන ලද වන්දි මුදල දඩයක් ලෙස අයකර ගැනීමටද නියම කරනු ලැබුවා.
මෙහිදී චූදිතගේ නීතිඥ සමන්ත ප්‍රනාන්දු මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කරමින් චූදිතට නියම කරන ලද සිර දඬුවම් වෙන් වෙන්ව නොව එකවර ගෙවී යන ලෙස නියම කරන මෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීමට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ හිමාලි ජයනෙත්ති මහත්මිය විරුද්ධ වූවාය.
ඉදිරිපත්වූ කරුණු හා සාක්‍ෂිවලින් මෙන්ම සිද්ධිය සිදුවී ඇති ආකාරය සලකා මෙම දඬුවම් නියම කර ඇති බැවින් නීතිඥ මහතාගේ ඉල්ලීම සලකා බැලිය නොහැකි බව මෙහිදී විනිසුරු වයි. ප්‍රනාන්දු මෙනවිය පෙන්වා දුන්නා.
දිවයින