කොස් මල්ලී පසුගිය කාලයේ රටේ ප්‍රසිද්ධ චරිතයක් වුණේය. ඒ කඳින් වෙන් කළ කොස් මල්ලිගේ හිස පාතාල කල්ලියක් විසින් අළුත්කඬේ අධිකරණය අසලට ගෙනැවිත් දැමීමෙන් පසුවය. මේ කෲරතර ක්‍රියාවන්ගෙන් පෙනී යන්නේ පාතාලය අද මොන තරම් ම්ලේච්ඡත්වයට පත්ව සිටින බවය.
පාතාල කල්ලි තම බලය පෙන්වීමට ප්‍රතිවිරුද්ධ කල්ලිවල සාමාජිකයන් භීතියට පත් කිරීමට යොදා ගන්නා අලූත්ම ක්‍රියාකාරකම වන්නේ තම විරුද්ධවාදීන් මරාදමා කඳෙන් වෙන් කළ හිස කොටස අවධානය යොමුවන ස්ථානයකට ගෙන ගොස් දැමීමය.
වෛරය පිරිමසා ගැනීමට පාතාල කල්ලි විසින් සිදුකරන බෙලි කපා ගැනීමේ ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ ඌරගස්මංහන්දිය මාලවල ප්‍රදේශයෙන්ය.
ඇල්පිටිය, ඌරගහ, කොස්ගොඩ, මීටියාගොඩ, බටපොල, අම්බලන්ගොඩ ප්‍රදේශවල පසුගිය කාලය පුරාම පාතාල ගැටුම් පැවතුණේය. එකිනෙකාට වෛර කිරීම, පළිගැනීම, අනෙකාගේ ජීවිතවලට වටිනාකමක් ලබානොදීම මේ ප්‍රදේශවල බොහෝ දෙනකු සතු ලක්‍ෂණයකි.
ඇල්පිටිය ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන ඒ අවට ප්‍රදේශවල පසුගිය කාලය පුරා ඇතිවූ පාතාල ගැටුම් වෛරය පිරිමසා ගැනීම සඳහා පැවති ආරවුල්වලින් මියගිය ගණන පනහකට ආසන්නය.
ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ පාතාල කල්ලි දෙකක් කාලයක් තිස්සේ සටන් වැදුණේය. හෙරොයින් ජාවාරමේ අයිතිය තමන් සතුකර ගැනීමට මෙන්ම වෛරය පිරිමසා ගැනීමට ඇතිවූ ගැටුම්වලින් සෑහෙන පිරිසකට ජීවිත අහිමි වුණේය.
මේ පාතාල කල්ලි දෙකින් එකක් මෙහෙය වූයේ කොස්ගොඩ සුජී නමැති පාතාල මැරයාගේ සමීපතම සහචරයන් පිරිසක් විසින්ය. අනෙක් පාතාල කල්ලියට නායකත්වය දෙන්නේ හෙරොයින් ජාවාරමේ කෙලිකාරයකු වූ ඉන්දික නමැති මැරයාය.
මොවුන් දෙපාර්ශ්වයම ම්ලේච්ඡු මිනීමරුවන්ය. මීට අවුරුදු ගණනකට උඩදී ඌරගස්මංහන්දිය මාලවල ප්‍රදේශයේ එකට හැදී වැඩුණු එකට කෙලිසෙල්ලන් කළ තරුණයන් පිරිසක් පසු කාලයකදී දෙපිලකට බෙදී එකිනෙකා මරා ගන්නට පටන් ගත්තේය.
වැලි ජාවාරම් මෙන්ම හෙරොයින් ව්‍යාපාරය මුල්කරගෙන හටගත් පාතාල ගැටුම් මේ වන විට වෛරය ලෙයට ලෙයින් පලිගැනීම දක්වා දුරදිග ගොස් හමාරය.
චමිල දීපාල්, සමන් සුරේෂ්, සුරංග විජේරෝයි, ඉන්දික මහේෂ්, අසංක චමිල කුමාර, මහේෂ් රණවීර, බොස් සරත්, ඌරගස්මංහන්දිය මාලවල ගමේ එකට හැදුණු එකට කෙළි සෙල්ලම් කළ එකට අධ්‍යාපනය ලැබූ තරුණයන් පිරිසකි. ඒ මීට වසර හත අටකට උඩදීය.
බොස් සරත් යනු ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ මහා පරිමාණයෙන් වැලි විකිණීමේ ව්‍යාපාරය කරගෙන ගිය ව්‍යාපාරිකයෙකි. යහමින් මුදල් හරි හම්බ කළ නිසා බොස් සරත් මාලවල ප්‍රදේශය පුරා සිය අණසක පතුරුවා ගෙන සිටියේය.
දකුණු පළාත කේන්ද්‍රකර ගත් පාතාලයේ අඳුරු සෙවණැලි ඌරගස්මංහන්දිය ප්‍රදේශය පුරාද පැතිර යමින් තිබුණේය.
කොස්ගොඩ සුජී නමැති පාතාල මැරයාගේ සමීපතම සගයකු වන මයිකල් ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ් සම්බන්ධතා පවත්වාගෙන ගියේය. චමිල දීපාල්, සමන් සුරේෂ්, සුරංග විජේරෝයි, මයිකල්ගේ ඥාති සොහොයුරන් වූහ. ඒ ඥාතිත්වය හරහා මේ තරුණයන් කොස්ගොඩ සුජී නමැති පාතාල මැරයාගේ සහචරයන් බවට පත්ව සිටියේය.
බොස් සරත්, ඉන්දික ඇතුළු තවත් තරුණයන් පිරිසක් මාලවෙල ප්‍රදේශයේ වෙනම කල්ලියක් බිහිකරගෙන සිටියේ වැලි ජාවාරමද කේන්ද්‍ර කරගෙනය.
කුඩා කල සිට තිබූ මිතුදම් බිඳී යමින් ව්‍යාපාරික ආරවුල් මත ගැටුම් මොවුන් අතර හටගන්නට පටන් ගත්තේය. මාලවෙල ගමේ තොරණක් ඉදිකිරීමට යෑමේදී මේ දෙපාර්ශ්වය අතර ආරවුලක් ඇති වුණේය.
තවත් අවස්ථාවක මොවුන් දෙපිරිස ක්‍රීඩා කරමින් සිටියදී නැවත ආරවුලක් හට ගත්තේය. මේ පුංචි පුංචි ආරවුල් මිනීමරා ගන්නා තත්ත්වයට පත්වීමට ඒ තරම් කාලයක් ගත වුණේ නැත. සමන් සුරේෂ් සහ සුරංග විජේරෝයි සොහොයුරන්ය. කොස්ගොඩ සුජීගේ ගෝලයන් බවට පත්ව සිටි නිසා මොවුන් තම විරුද්ධවාදීන්ට එරෙහිව නොයෙකුත් කෙනෙහෙලිකම් කරන්නට පටන් ගත්හ.
මේ ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස සුරංග විජේරෝයි සහ කුෂාන් රන්දික නමැති තරුණයන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කෙරිණි. බොස් සරත්ගේ කල්ලියේ ප්‍රබලයා වන ඉන්දික ඇතුළු කල්ලියක් විසින් මේ ද්විත්ව ඝාතනය සිදුකර තිබිණි. මේ ද්විත්ව ඝාතනය සිදුවන්නේ ඉකුත් 2015 වර්ෂයේ නොවැම්බර් මස 03 වැනිදාය.
තම බාල සොහොයුරු වන සුරංග විජේරෝයි ඝාතනය කිරීම සමන් සුරේෂ් දැඩි කම්පනයට ලක් කළ සිදුවීමක් විය. පළිගැනීම ආරම්භ වන්නේ එතැන් සිටය.
‘මගේ මල්ලි මරපු උන්ගෙන් පළිගන්න කල් මට නින්ද යන්නෙ නැහැ. උන්ගෙ පවුල් පිටින් විනාශ කරලා දානවා.’ තම සොහොයුරා සහ ඔහුගේ සමීපතමයා ඝාතනය කිරීමේ වෛරය පිරිමසා ගැනීමට සමන් සුරේෂ් සැලසුම් කළේය.
සොහොයුරු ඝාතනයේ ප්‍රධාන සැකකරු ඉන්දික ඒ වන විට සිටියේ බන්ධනාගාරගතවය. ඝාතනයට සම්බන්ධ සෙසු සැකකරුවන් පිළිබඳ හෝඩුවාවක් නොවීය.
ඉන්දිකගේ කල්ලියට නායකත්වය දුන් බොස් සරත් පමණක් නිදහසේ කාලය ගත කරන බව සොයාගත් සමන් සුරේෂ් ඇතුළු පාතාල සගයන් ඔහුට මරණ වරෙන්තු නිකුත් කළේය.
සුරංග විජේරෝයි ඝාතනයට බොස් සරත් කෙළින්ම සම්බන්ධ වී තිබුණේ නැත. එහෙත් ඉන්දික ඇතුළු පාතාල සගයන් සිදුකළ ඒ ද්විත්ව ඝාතනයට බොස් සරත් ආධාර අනුබල දී තිබුණේය.
බොස් සරත් මරා දමා තම සොහොයුරා ඝාතනයේ පළිය ගැනීමට සැලසුම් කළ සමන් සුරේෂ් ඇතුළු පාතාල සගයන් ඒ සඳහා දිනයක් ද නියම කරගත්හ. 2015 වර්ෂයේ දෙසැම්බර් 04 වැනිදා දිනය මොවුන් තෝරා ගත්තේ සුරංග විජේරෝයි සහ ඔහුගේ මිතුරා ඝාතනය කර එදිනට හරියටම මාසයක් සම්පූර්ණ වීම නිසාය.
එදින රාත්‍රියේ බොස් සරත්ගේ නිවසට කඩා වැදුණු සමන් සුරේෂ් ඇතුළු පාතාල මැරයන් ඔහුට වෙඩි තබා ඝාතනය කළහ. තම පාතාල බලය පෙන්වීමටත් වෛරය පිරිමසා ගැනීමටත් මගක් සෙවූ සමන් සුරේෂ් බොස් සරත්ගේ හිස කඳින් වෙන් කර එය මාලෙවල ප්‍රධාන මාර්ගය වෙත රැගෙන ගියේය.
තම සොහොයුරා සහ සගයා ඝාතනය කළ ස්ථානයේ බොස් සරත්ගේ කඳින් වෙන් කළ හිස තැබූ පාතාල මැරයන් පලාගියේ තම සොහොයුරා මැරූ වෛරය පිරිමසා ගනිමින්ය.
කොස්ගොඩ සුජී ඩුබායි දේශයේ සැගවී සිටිමින් දකුණේ පාතාලයේ බිහිසුණු අපරාධවල නිරත වූවේය. කොස්ගොඩ සුජීගේ කල්ලියේ පාතාල මැරයන් ඌරස්මංහන්දිය ඇල්පිටිය, කොස්ගොඩ, මීටියාගොඩ ප්‍රදේශ පුරා භීෂණය වපුරුවාලමින් සිටියහ.
බොස් සරත් ඝාතනය සම්බන්ධයෙන් සමන් සුරේෂ් ඇතුළු සගයන් කීප දෙනකු බන්ධනාගාරගත කෙරිණි. වසරකට ආසන්න කාලයක් ආණ්ඩුවේ බෝඩිමේ ලැග සිටි සමන් සුරේෂ් ඇපමත නිදහස ලබා ඌරගස්මංහන්දියට ආවේ වීරයන් ලෙසය.
මිනීමැරුම් කළ උන්ට මේ ප්‍රදේශයේ ලැබුණේ විශේෂ සැලකිල්ලකි, පිළිගැනීමකි.
ඌරගහ චණ්ඩියකු වූ බොස් සරත් මරාදමා හිස ගෙන ගොස් මහමග දැමූ සමන් සුරේෂ් ඇතුළු පාතාල සගයන් මහා කෙරුම්කාරයන් වී සිටියහ. පොලිසියේ ඇතැම් නිලධාරීන්ගෙන් පවා මේ පාතාල මැරයන්ට ලැබී තිබුණේ විශේෂ සැලකිල්ලකි.
කොස්ගොඩ සුජීගේ හෙරොයින් ජාවාරමේ ප්‍රධානියකු බවට පත්ව සිටි සමන් සුරේෂ් ඇල්පිටිය හා ඒ අවට ප්‍රදේශ රැසක බලය ව්‍යාප්ත කරගෙන සිටියේය.
ඒ වන විට සමන් සුරේෂ්ගේ ප්‍රධානම ප්‍රතිවාදියා බවට පත්ව සිටියේ ඉන්දිකය. තම සොහොයුරා මරා දැමීමේ පළිය ඉන්දිකගෙන් ගැනීමට සමන් සුරේෂ් කිහිප විටක්ම උත්සාහ කළද එය සාර්ථක වුණේ නැත.
කොස්ගොඩ සුජීට අයත් අවි ආයුධවලින් වැඩි කොටසක් තිබුණේ සමන් සුරේෂ් භාරයේය. මෙම අවි ආයුධ කුලී පදනම මත ලබාදීම මෙන්ම කොස්ගොඩ සුජීගේ නියෝග මත විවිධ පුද්ගලයන්ගේ අවශ්‍යතාවන්වලට ලබාදුන්නේ සමන් සුරේෂ්ය.
ඉස්සර වූ එකා ජයග්‍රහණය කරන බවට න්‍යායක් පාතාලයේ තිබුණේය. සමන් සුරේෂ් කොයි මොහොතක හෝ තමාගෙන් පළිගන්නා බව ඉන්දික හොඳාකාරවම දැන සිටියේය. සමන් සුරේෂ්ට පෙර තමන් ඉස්සර විය යුතු බව තේරුම් ගෙන සිටි ඉන්දික ඒ සඳහා සැලසුමක්ද සකස් කළේය.
බොස් සරත් ඝාතනය කර කඳින් වෙන්කළ ඔහුගේ හිස මහමග දමා යෑමේ සිද්ධියෙන් ඉන්දික දැඩි ලෙස කෝපයට පත්ව සිටියේය. බොස් සරත් මරා දැමීමේ වාඩුව කොයි මොහොතක හෝ ඉන්දික තමාගෙන් ගන්නා බව සමන් සුරේෂ් ද තේරුම් ගත්තේ ඒ ඝාතනය සිදුවූ දිනයේදීමය.
සමන් ඉන්දික හැම විටම සන්නද්ධව සිටියේ කොයි මොහොතක හෝ තමාට ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ තිබෙන බව දැන සිටි නිසාය.
ඒ වන විට ඉන්දිකද ජයට හෙරොයින් ජාවාරමට සම්බන්ධ වී සිටියේය. බොස් සරත් කරගෙන ගිය වැලි ව්‍යාපාරයද වෙනත් පුද්ගලයන් යොදාගෙන කරගෙන ගිය ඉන්දික ඒ හරහා විශාල ධනයක් උපයා ගත්තේය.
‘කොහොමටත් සමන් සුරේෂ් ඌරගහ ඉන්න එක අපට මහ හිසරදයක්. මිනිහව පුළුවන් තරම් ඉක්මනට අයින් කරලා දාන්න ඕනෙ. සරත් අයියව මරල උන් ගමේ රජවෙලා ඉන්නෙ. අපේ නැතිවෙච්ච පාතාල බලය ආයෙත් ගන්න ඕනෙ.' ඉන්දික තම පාතාල සගයන් සමග එක්ව සමන් සුරේෂ් පරලොව යැවීමට සැලසුම් සකස් කළේය. ඉන්දික වැඩි කාලයක් ගතකළේ වව්නියාව ප්‍රදේශයේය. ඌරගහ සිටීම තම ආරක්‍ෂාවට හොඳ මදි බව තේරුම් ගෙන සිටි ඉන්දික තම පාතාල මැරයන් ද සමග වව්නියාවේ ආරක්‍ෂිත ස්ථානයක නවාතැන් ගෙන සිටියේය.
අවශ්‍ය අවස්ථාවලදී පමණක් ඉන්දික ඇල්පිටියට ආවේය.
‘සමන් සුරේෂ් මරලා අපේ සරත් අයියට කරපු දේම ඌටත් කරන්න ඕනෙ. එහෙම කළොත් තමයි මට නින්ද යන්නෙ...’ ඉන්දික තම පරම සතුරා වූ සමන් සුරේෂ් මරා දැමීමට දිනයක් ද වෙන් කර ගත්තේය. පසුගිය 30 වැනිදා ඇල්පිටිය ප්‍රදේශයට මහ වැසි ඇද හැළුණේය.
සමන් සුරේෂ් තම සමීපතම සගයකු වූ දීපාල් රණසිංහ සමග ඌරගස්මංහන්දිය මාලවෙල ප්‍රදේශයේ පිහිටි නිවසට එන්නේ වටින් ගොඩින් ඇඳිරි වැටීගෙන එද්දීය. ඒ වන විටත් හතර අතින් කළු කරගෙන මහ වර්ෂාව ඇද හැලෙමින් තිබුණේය.
‘වැස්සෙ කරන්න දේකුත් නැහැ, හීන් අඩියක් ගැහුවනම් හොඳයි’ සමන්ගේ යෝජනාවට දීපාල් ද කැමැත්ත පළකළේය. නිවස ඉදිරිපිට කඩ කාමරයක් තිබිණි. මේ කඩ කාමරය පාවිච්චි කළේ කුරුඳු තැලීමටය. සමන් සහ පාතාල සගයා නිතර රැස් වෙන්නේ මේ කඩ කාමරයේය.
මොර සූරන වර්ෂාවක් ඇද හැලෙද්දී කිසිවකුගෙන් හෝ අනතුරක් නොවනු ඇතැයි සිතූ සමන් තම සගයා වූ දීපාල් ද සමග කඩ කාමරයට වී මත්පැන් වීදුරුවක් තොල ගාමින් සිටියේය.
සමන් සුරතලයට බල්ලන් දෙදෙනකු ඇතිදැඩි කළේය. ඒ බල්ලන් මිනී කන බල්ලන් ලෙස මුළු මාලවෙල ප්‍රදේශයම දැන සිටියහ. එදා ධාරානිපාත වර්ෂාව නිසා බල්ලන් දෙදෙනා සිටියේ කූඩුවලය.
සමන් සුරේෂ් නිවස ඉදිරිපිට කඩ කාමරයේ රැඳී සිටින බවට තොරතුරු ඉන්දිකගේ කන වැකෙන්නේ ඔත්තුකරුවකුගේ මාර්ගයෙන්ය.
ඒ වන විට සමන් සුරේෂ් පරලොව යැවීමට ඉන්දික තම පාතාල මැරයන්ද සමග ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ එක්තරා ස්ථානයකට පැමිණ සිටියේය.
ඉන්දික ඇතුළු සගයන් ක්‍රියාත්මක වූහ. මහ වර්ෂාව නොතකමින් ඔවුන් සමන් සුරේෂ්ගේ නිවස ඉදිරිපිට කඩ කාමරයට කඩා වැදුණේ හතර අතට වෙඩි තබමින්ය. ප්‍රදේශවාසීන් සිතුවේ හෙණ හඬ නගමින් අකුණු පුපුරනවා කියාය.
මරු වැළඳ ගන්නවා හැරෙන්නට සමන් සුරේෂ්ට කර කියා ගන්නට යමක් ඉතිරිව තිබුණේ නැත. සමන් සුරේෂ් සහ චමිල දීපාල් වෙඩි තබා ඝාතනය කළ ඉන්දික ඇතුළු පාතාල මැරයන් ඊළග කාර්යයට අත ගැසූහ.
බොස් සරත් මරා හිස රැගෙන ගිය ආකාරයටම සමන් සුරේෂ්ගේ හිසද රැගෙන යෑමට ඉන්දිකට අවශ්‍ය විය.
'මේකා සරත් අයියගේ ඔළුව අරන් ගිහින් පාරේ තිබ්බා. මේකෙ ඉන්න මූට කඬේයන උන්ට පේන්නත් එක්ක මූගේ ඔළුවත් පාරේ තියන්න ඕනෙ.’ ඉන්දිකගේ සගයන් වහ වහා ක්‍රියාත්මක වුණේය. සමන් සුරේෂ්ගේ ගෙල මුලින් කපා දැමූ අතර දීපාල්ගේ හිසද කඳෙන් වෙන් කිරීමට ඔවුන් උත්සාහ කළහ.
එහෙත් වැඩි වේලාවක් මෙහි රැඳී සිටීම එතරම් ගුණදායක නොවන බව තේරුම් ගත් ඉන්දික සමන් සුරේෂ්ගේ හිස පමණක් රැගෙන මාලවෙල මාර්ගයට ආවේය. සරත් අයියාගේ ඔළුව තිබුණු තැනම මුගේ ඔළුවත් තියන්න ඕනේ. එතකොට තමයි සරත් අයියට සාධාරණයක් වෙන්නේ.
සමන් සුරේෂ්ගේ නිවසේ සිට මීටර් 300 ක් පමණ මාර්ගය ඔස්සේ ඉදිරියට ගිය ඉන්දික ඔහුගේ හිස මහමග දමා පලා ගියහ.
තවත් පළිගැනීමක අවසානය එසේ සිදුවුණේය.
මේ පාතාල කල්ලි දෙක අතර ගැටුම නිමවී නොමැත. ලෙයට ලෙයින් වාඩුව ගැනීම හෙට දිනයේත් සිදුවනු ඇත. මේ පාතාල මැරයන් පවුල් පිටින් එකිනෙකා මරාගෙන හමාර වනතුරු පළිගැනීම නතර වන්නේ නැත.