මාරවිල පොලිස් වසමට අයත් දුන්කන්නාව ප්‍රදේශයේ දෙපාර්ශ්වයක් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස් හටගත් ආරවුලකින් පසු පෙට්‍රල් ගසා ගිනි තැබීමේ සිද්ධියකින් සිව්දෙනකු පිළිස්සුම් තුවාල ලබා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව මාරවිල පොලිසිය පවසනවා.
17 වැනිදා මධ්‍යම රාත්‍රි 12.30 ට පමණ මෙම සිදුවීම වී තිබෙනවා. දුන්කන්නාව ලුර්දු මාවතේ පදිංචිව සිටින වයස අවුරුදු 54 ක පුද්ගලයෙකු සිය නිවස පිහිටි ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් සිටිය දී එම මාර්ගයේ රැඳී සිටි පුද්ගලයන් තිදෙනෙකු ඔහු සමග බහින් බස්ව ඇති බවයි වාර්තා වෙන්නේ.
පසුව එය ගුටි බැට හුවමරුවක් දක්වා දුර දිග ගොස් තිබෙනවා.
අනතුරුව එක වරම මාර්ගයේ ගමන් ගත් පුද්ගලයා සිය නිවසට දිව ගොස් පෙට්‍රල් බාල්දියක් රැගෙන විත් ඔහු සමග ආරවුල ඇති කරගත් තිදෙනාට ගසා තිබෙනවා.
පසුව ලයිටරයක් ගෙන එය දැල්වීමට උත්සාහ කිරීමේ දී ඔවුන් සිව්දෙනා පොර බදන අවස්ථාවේ ලයිටරය පත්තු වී සිව් දෙනාම පිළිස්සුම් තුවාල ලබා මරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
පෙට්‍රල් බාල්දිය ගැසූ පුද්ගලයා සිද්ධියෙන් බරපතළ ලෙස පිළිස්සුම් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
සිද්ධියෙන් රෝහල්ගත කර ඇති සෙසු නිදෙනා දුන්කන්නාව බෝධිවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23,24 සහ 52 වියේ පසුවන්නන් වෙනවා.
මෙම තිදෙනා අතර පිය පුතු දෙපළක් ද වෙනවා. මාරවිල පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.