ඒ, කල්මුණ ප්‍රදේශයේදී අසරණ සුනඛයෙකුට ඉතාමත් අමානුෂික විදිහට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක්. ඔන්න දැන් ඒ අමානුෂික වැඩේ කරපු පුද්ගලයාට නීතියෙන් රිදෙන්නම වැඩක් ලැබිලා තියෙනවා...
කල්මුණ පොලිස් වසමේ අශ්රෝෆ් රෝහල අසලදී තමයි මේ පුද්ගලයා විසින් සුනඛයෙකුට අමානුෂික ලෙස පහර දීලා තිබුණේ. මේ සිදුවීම කෙනෙක් විසින් වීඩියෝ කරලා සෝෂල් මීඩියා ප්‍රජාව වෙත මුදා හැරීමත් සමඟම, සත්ව අවිහිංසාවාදීන් වගේම සාමාන්‍ය ජනතාවත් මේ නරුම ක්‍රියාවට එරෙහිව දැඩි ලෙස හඬ නඟන්න පටන් ගත්තා.
සමාජ මාධ්‍ය ඔස්සේ මේ වීඩියෝව ලැව්ගින්නක් වගේ පැතිර යාමත් එක්කම, කල්මුණ පොලිස් ස්ථානයේ නිලධාරීන් මේ පිළිබඳව වහාම විමර්ශන ආරම්භ කරලා තියෙනවා. වීඩියෝ දර්ශන ඔස්සේ පුද්ගලයා කවුද කියා හඳුනාගත් පොලිස් කණ්ඩායම, සත්වයාට වදහිංසා පැමිණවූ ඒ සැකකරුව ඊයේ (27) දිනයේදී සාර්ථකව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය විසින් කොටු කරගත් මෙම සැකකරු වයස අවුරුදු 21ක් පමණ වන කල්මුණකුඩි ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් බවයි වාර්තා වෙන්නේ.
කටක් ඇරලා තමන්ට වෙන අසාධාරණයක් කියන්න බැරි, අසරණ තිරිසන් සතෙකුට තමන්ගේ චණ්ඩිකම පෙන්වන්න ගිය මේ තරුණයාට අන්තිමේදී නීතිය ඉදිරියට ගිහින් කුඩුවේ ලගින්නයි සිද්ධ වුණේ.