බොහෝ දෙනෙක් ඇගේ ගීතවලට ආදරය කළත්, ඒ ගීත පද පේළි පිටුපස සැඟවුණු කඳුළු කතාව දන්නේ අතළොස්සක් දෙනා පමණයි. මෑතකදී ඇය තම ජීවිතයේ ආදරය සහ විරහව ගැන ඉතාමත් සංවේදී අදහස් කිහිපයක් බෙදාගෙන තිබුණා.
සෑම කෙනෙකුටම පළමු ප්‍රේමය අමතක නොවන අත්දැකීමක් වුවත්, ඇප්සිට එය වේදනාකාරී එකක් වුණා. ඇය පවසන්නේ තමන් රැප් කලාවට පිවිසුණු "වෛර ආදරේ" ගීතය මුළුමනින්ම ඇගේ පළමු ආදරයේ අත්දැකීමක් බවයි.
"මගේ පළමු ආදරේ මම අන්තිමට කොෆින් එකක් ඇතුළට දාලා වැහුවා..."
ඇය පවසන්නේ ඒ වේදනාව පිට කිරීමට තිබුණු හොඳම මාර්ගය රැප් කලාව බවයි.
"හිත පලුදු වුණා... ඒත් මම වැටුණේ නැහැ" ආදරය කළ තරමටම පෙරළා ආදරය නොලැබුණු, හිත පලුදු වුණු කාලයක් ඇගේ ජීවිතයේ තිබූ බව ඇය නොසඟවා පවසනවා. "උහුලන්නෑ" වැනි ගීත නිර්මාණය වූයේද එවැනි සැබෑ ජීවිතයේ අත්දැකීම් පාදක කරගෙනයි. නමුත් අද ඇප්සි ඉන්නේ වෙනස්ම තැනක. තනිවම තමන්ගේ හිත හදාගෙන, සතුටින් ඩාන්ස් එකක් දාගෙන ඉන්න ශක්තිමත් ගැහැනියක් බවට ඇය පත්වෙලා.
කාලයක් නිහඬව සිටිමින් තමන්ගේ මානසික සුවය වෙනුවෙන් කාලය වැය කළ ඇප්සි, දැන් අලුත් ගීත ඇල්බමයක් සමඟ නැවත පැමිණෙනවා. "අප්සරා" ලෙස නම් කර ඇති මෙම ඇල්බමයේ ගීත 08ක් ඇතුළත්.
"මම මාව ඒ කාලේ ගොඩක් හීල් කරගත්තා. ආදරේ ලස්සන පැත්තක් මම හොයාගත්තා. ඒ හොයාගැනීම තමයි මේ ඇල්බමය"
ආවේගශීලී ආරම්භයක සිට ඉතාමත් සන්සුන් අවසානයක් දක්වා දිවෙන අප්සරාගේ මේ අලුත් නිර්මාණ පෙළ ඇගේ ජීවිතයේ පරිණාමය කියාපාන්නක් වනු නිසැකයි.
"හරි සීරුට රැකගත්ත හදවත මගේ... හැම හුස්මකම ඔබ ඉන්නවා..."
පෑරුණු හදවතක් දරාගෙන සිටි තරුණියකගේ සිට ආදරයේ සුන්දරත්වය අලුතින් අර්ථකථනය කරන කලාකාරිනියක දක්වා ඇය ආ ගමන සැබවින්ම අගය කළ යුතුයි. ඇප්සිගේ අලුත්ම "අප්සරා" ඇල්බමය රසික ඔබට ඉක්මනින්ම අහන්න ලැබෙනවා