තාක්ෂණය දියුණු ලෝකයක පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වීම (Gaming addiction) කියන්නේ කෙතරම් භයානක මාරයෙක්ද කියන එකට මේ අවාසනාවන්ත සිදුවීම කදිම නිදසුනක්.
යාපනය, වීමන්කාමම් ගම්මානයෙන් ඇසෙන මේ කතාව වඩාත් සෝචනීය වෙන්නේ මියගිය තරුණයාගේ පවුල් පසුබිම නිසයි. මේ පවුලේ මියගිය සිසුවා හැර අනෙක් පවුලේ සාමාජිකයන් හතරදෙනාම විශේෂ අවශ්‍යතා සහිත (Special needs) පුද්ගලයන්. මුළු පවුලේම අනාගතය කරට අරගෙන, උසස් පෙළ ගණිත අංශයෙන් ඉගෙනුම ලබමින් පවුලට ආලෝකයක් වෙන්න හිටපු එකම බලාපොරොත්තුව තමයි මේ විදිහට අකාලයේ නිවී ගියේ.
පසුගිය 29 වනදා 19 හැවිරිදි මෙම සිසුවා සියදිවි හානි කරගෙන තිබුණේ තමන් පදිංචි නිවස තුළදීමයි. පොලිස් පරීක්ෂණ වලදී හෙළි වුණු වඩාත්ම කම්පන සහගත කරුණ වන්නේ, ඔහු මියයන අවස්ථාවේදී පවා පරිගණක ක්‍රීඩාවලට (Video Games) අදාළ විශේෂිත ඇඳුමකින් සැරසී සිටීමයි.
ඔහු කාලයක සිට මේ ක්‍රීඩා වලට දැඩි ලෙස ඇබ්බැහි වී සිටි අයෙකු බවත්, ඒ ගැන දෙමාපියන් සහ ගුරුවරුන් නිතර අවවාද කර ඇති බවත් වාර්තා වෙනවා.
පොලිසිය සැක කරන්නේ ඇතැම් පරිගණක ක්‍රීඩාවල ඉහළ මට්ටම් වලට ගිය පසු ලැබෙන දරාගත නොහැකි මානසික පීඩනය හෝ ක්‍රීඩාව තුළින්ම එන යම් බලපෑමක් මත ඔහු මේ තීරණය ගන්නට ඇති බවයි. තරුණ ජීවිත මරණය කරා රැගෙන යන මෙවැනි "Games" නිසා ගත වූ වසර 4 තුළ පමණක් යාපනය දිස්ත්‍රික්කයෙන් මෙවැනි මරණ 7ක් වාර්තා වීම බරපතළ තත්ත්වයක්.