ඊයේ (25) පස්වරු 3.30 ට පමණ උපුල්දෙණිය, පහලගම වැව් බැම්ම මතින් ධාවනය වූ ට්‍රැක්ටර් රථයක් බැම්මෙන් පහළට පෙරළී යාමෙන් මෙම බිහිසුණු අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙම අවාසනාවන්ත අනතුරින් මියගොස් ඇත්තේ කන්තලේ, වාන්ඇල ප්‍රදේශයේ පදිංචිව සිටි එවිදු කාවින්ද බණ්ඩාර නමැති 24 හැවිරිදි තරුණයෙක්.
ඔහු මීට දින කිහිපයකට පෙර ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයට පැමිණ තිබුණේ ගොවිතැන් කටයුතු සඳහායි. උපුල්දෙණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට අයත් ට්‍රැක්ටර් රථයක රියැදුරු ලෙස සේවය කරමින් ඔහු එම නිවසේම නවාතැන් ගෙන සිට තිබෙනවා.
අනතුර සිදුවූ දින අදාළ හිමිකරුගේ කුඹුරු සී සෑමේ කටයුතු අවසන් කර යළි නිවස බලා ට්‍රැක්ටර් රථයෙන් පැමිණෙමින් සිටියදීයි මෙම විපත සිදුව ඇත්තේ. වැව් බැම්ම මතින් ධාවනය වෙද්දී ට්‍රැක්ටරය පාලනය කරගත නොහැකිව පහළට පෙරළී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
මියගිය තරුණයාගේ සිරුර මේ වන විට ගලෙන්බිඳුණුවැව රෝහලේ තැන්පත් කර ඇති අතර, අද (26) දින පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි. 24 හැවිරිදි වියේ පසුවූ මේ තරුණයාගේ අකල් මරණය ප්‍රදේශවාසීන්වද මහත් කම්පනයකට පත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.