මේ වීරයා නමින් චම්පික ජයසේකර.
මතුගම ඉඳන් ආපු බස් එකෙන් පොතුපිටිය හන්දියට අසරණ අම්මා කෙනෙකුයි දරුවෝ දෙන්නෙකුයි බැස්සේ ඇඬූ කඳුළින්. ඒ, තමන්ගේ ළඟ හිටිය පුද්ගලයෙක් තමන්ගේ ජංගම දුරකථනය සොරකම් කර ඇති බව දැන ගැනීමෙන් පසුවයි.
මේ දුක අහපු චම්පික දෙපාරක් හිතුවේ නෑ. තමන්ගේ හයර් එක ගැනවත්, තෙල් වියදම ගැනවත් නොහිතපු චම්පික, වහාම අම්මාවයි දරුවෝ දෙන්නවයි ත්‍රිවිල් එකට දාගෙන "හැටට හැටේ" බස් එක පස්සෙන් එළවන්න පටන් ගත්තා.
බස් එක පස්සෙන් ලුහුබැඳ යද්දී පොහද්දරමුල්ල ප්‍රදේශයේදී අදාළ සැකකරු බස් එකෙන් බැස මාරු වෙන්න හදනවා අම්මා හඳුනාගෙන තිබෙනවා. වහාම ක්‍රියාත්මක වුණු චම්පික, ත්‍රිවිල් එකෙන් බැස දුව ගොස් හොරාව අල්ලාගෙන තිබෙනවා. බලනකොට ෆෝන් එක හොරාගේ සාක්කුවේමයි.
චම්පික වහාම 119 අමතා පොලිසිය ගෙන්වා හොරාව භාරදීලා, අර අසරණ අම්මාවයි දරුවන්වයි සාක්කි දෙන්න වාද්දුව පොලිසියටත් ඇරලවලා තිබෙනවා. පැය 4ක් තමන්ගේ රස්සාවත් පැත්තක දාලා මේ අසරණ පවුල වෙනුවෙන් පෙනී සිටි චම්පිකගෙන් අන්තිමට අම්මා ඇහුවේ "පුතේ හයර් එක කීයද?" කියලා.
අතේ තිබුණේ රුපියල් 700ක් වුණත්, චම්පික දුන්න උත්තරයෙන් මුළු පොලිසියම පුදුම වුණා. "මට සල්ලි එපා අම්මා... ඔයාලා දෙන පින මට මිල කරන්න බැහැ."