අවුරුදු මේසය රස ගන්වන කැවුම්, කොකිස් හදන සුවඳ දැන් දසතම පැතිරෙනවා. මේ අතරේ මස්කෙළිය ප්‍රදේශයෙන් අපූරු පුවතක් වාර්තා වුණා. ඒ, දශක හතරකට වැඩි කාලයක් මුළුල්ලේ රටටම රස කැවිලි සපයන කේ. ඒ. තිලකා කල්‍යාණවතී මහත්මියගේ කතාවයි.
තිලකා මහත්මියට දැන් වයස අවුරුදු 66ක්. ඇය මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වෙන්නේ වසර 46ක අත්දැකීම් එක්කයි. ඇය මේ කලාව ඉගෙනගෙන තිබෙන්නේ තමන්ගේ මවගෙන්.
"මුල් කාලේ දරුවන් උදව් කළා, දැන් පුතාගේ බිරිඳයි මහත්තයයි මට උදව් කරනවා" ඇය පවසන්නේ හරිම නිහතමානීව. ඇගේ සැමියා 'ආස්මී' සෑදීමට උපන් හපනෙක් බවත් ඇය ආඩම්බරයෙන් සිහිපත් කරනවා.
මේ සැරේ බඩු මිල ඉහළ යාම තිලකා මහත්මියගේ නිෂ්පාදනවලටත් බලපා තිබෙනවා. පොල්තෙල් ඇතුළු අමුද්‍රව්‍ය මිල වැඩි නිසා, පසුගිය වසරට වඩා මෙවර කැවුමක මිල රුපියල් 10ත් 15ත් අතර ප්‍රමාණයකින් වැඩි කරන්න ඇයට සිදුවෙලා.
තිලකා මහත්මිය පදිංචි වෙලා ඉන්නේ වතුකරයේ. විශේෂත්වය වෙන්නේ සිංහල ජනතාව වගේම දෙමළ ජනතාවත් ඇයගෙන් කැවුම් මිලදී ගන්න විශාල උනන්දුවක් දැක්වීමයි. නුවරඑළිය දිස්ත්‍රික්කය පුරාම ඇයට විශාල ඉල්ලුමක් තිබෙන අතර, ඈත පළාත්වලින් පවා ඇවිත් මේ රස කැවිලි රැගෙන යන බව ඇය පවසනවා.
ජීවනෝපාය විදියට මේ රැකියාව කරන අතරතුරේම, පාරිභෝගිකයා ගැන හිතලා ඉතා සාධාරණ මිලකට මේ දේවල් ලබා දීම ගැන බොහෝ දෙනෙක් ඇයට ප්‍රශංසා කරනවා.