ඒ තමයි "තෙල් වළං ලිප තැබීමේ නැකත". මේ නැකත අද, ඒ කියන්නේ අප්‍රේල් 05 වැනිදා ඉරිදා පූර්වභාග 11.08 ට යෙදිලා තියෙනවා.
ඇත්තටම මොකක්ද මේ නැකත? ප්‍රවීණ ජ්‍යෝතිර්වේදීන් පවසන විදිහට මේක අලුත්ම එකක් නෙවෙයි, 1863 අවුරුද්දට කලින් අපේ පැරණි ගම්වල භාවිතා වුණු ඉතාමත් වටිනා චාරිත්‍රයක්. ආස්මී, කොණ්ඩ කැවුම් වැනි කැවිලි හදන්න සෑහෙන වෙලාවක් යන නිසා, අපේ පැරැන්නෝ අවුරුද්දට දින ගණනාවකට කලින්ම මේ විදිහට නැකතට වැඩ පටන් අරගෙන තියෙනවා.
සංස්කෘතික දෙපාර්තමේන්තුව කියන විදිහට අද 11.08ට රතු සහ කහ මිශ්‍ර හෝ තඹවන් පැහැති ඇඳුමින් සැරසිලා, දකුණු දිශාව බලාගෙන ලිප් බැඳ ගිනි මොළවා තෙල් වළං ලිප තියන්න ඕනේ. හැබැයි අදම හැම කැවිල්ලක්ම හදලා ඉවර කරන්න ඕනේ නැහැ, මේකෙන් කරන්නේ කැවිලි පෙති පිසීමේ "ආරම්භය" සනිටුහන් කරන එකයි.
වසර ගණනාවකට පස්සේ නැවතත් මේ වටිනා චාරිත්‍රය නැකැත් සීට්ටුවට ඇතුළත් කිරීම ගැන දැන් බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙමින් පවතිනවා.