අද පස්වරුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කළ බොහෝ දෙනෙක් දැඩි භීතියට පත් කරවන සිදුවීම් මාලාවක් වාර්තා වුණා.
ඒ කොට්ටාව සහ කහතුඩුව අතර කිලෝමීටර් 3.2 සිට 3.8 දක්වා වූ සීමාව ඇතුළතයි.
පැය භාගයක් වැනි ඉතා කෙටි කාලයක් තුළ එකම ඉසව්වක ස්ථාන තුනකදී අනතුරු සිදුවීම කාගේත් පුදුමයට හේතු වුණා.
දඹුල්ලේ සිට අහංගම බලා එළවළු පටවාගෙන ධාවනය වූ ලොරි රථයක පිටුපස ටයරයක් හදිසියේම පුපුරා යාමෙන් මෙම අනතුරු මාලාව ආරම්භ වී තිබෙනවා.
ටයරය පුපුරා යාමත් සමඟ පාලනය කරගත නොහැකි වූ ලොරි රථය මාර්ගය මැද පෙරළී ගොස් තිබුණා. මේ නිසා අධිවේගී මාර්ගයේ එක් මංතීරුවක් පැයකට ආසන්න කාලයක් වසා තබන්නටත් පොලිසියට සිදු වුණා.
මෙම ලොරි රථය පෙරළීමත් සමඟ ඒ ආසන්නයේම තවත් අනතුරු දෙකක් වාර්තා වුණා.
බස් රථයක් ඇතුළුව තවත් වාහන 5ක් එකිනෙක ගැටී තිබුණේ ඇසිපිය හෙළන සැණින්. මුළු වාහන 06ක් අනතුරට ලක්වෙද්දී මාර්ගයේ ගමන් ගත් පිරිස දැඩි සේ කලබලයට පත්වුණා.
වාහන 06කට දැඩි හානි සිදුව තිබුණත්, මෙම අනතුරු මාලාවෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාලයක් හෝ ජීවිත හානියක් සිදු නොවීම විශේෂත්වයක්.