මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන විශේෂ කතාවක්.
වංචනික විදේශ රැකියා ඒජන්සි ආයතනයක් පවත්වාගෙන යමින් ඩුබායි, රුමේනියා සහ මැද පෙරදිග රටවල්වල විදේශ රැකියා සඳහා පුද්ගලයන් බඳවාගත් කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් 03දා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට ලද තොරතුරක් මත මුල්ලේරියාව ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක මෙම ව්‍යාජ විදේශ රැකියා ඒජන්සිය පවත්වාගෙන ගොස් ඇති අතරතුරදීයි මේ වැටලීම් කර ඇත්තේ. එහිදී මෙම ආයතනය පවත්වාගෙන යනු ලැබූ උඩමුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අත්අඩංගුවට ගත් අතර ඇය සතුව තිබී විදේශ ගමන් බලපත්‍ර 154ක්, රැකියා ගිවිසුම්, වෛද්‍ය වාර්තා හා ලබාගැනීමේ ඉල්ලුම්පත්‍ර, විවිධ පුද්ගල ජීවදත්ත තොරතුරු ඇතුළත් ලිපිගොනු ද නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
මෙම කාන්තාව මීට පෙර 2016 වර්ෂයේදී කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් ලබාගෙන රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඊට එරෙහිව කාර්යාංශයට ලැබී ඇති පැමිණිලි අනුව නඩු එකොළොහක් පවරා ඇති බැවින් බලපත්‍රය අත්හිටුවා ඇති බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී තිබුණා.
එසේම මෙම කාන්තාවට විරුද්ධව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් විවෘත වරෙන්තුවක් ද නිකුත් කර ඇති අතර, ඉහත සැකකාර කාන්තාව 2026.02.04 දින කොළඹ අලුත්කඩේ අංක පහ දරන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.
මෙම වැටලීම මධ්‍යම අපරාධ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් ආරියවංශ මහතාගේ අධීක්ෂණය යටතේ කාර්යාංශ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආරියසිංහ, පොලිස් පරීක්ෂක ටී. බී. ද අල්විස්, පොලිස් සැරයන් බාලසූරිය, නීති ක්‍රියාත්මක කිරීමේ නිලධාරි වන්නිආරච්චි යන නිලධාරීහු සහභාගි වුණා.
දිවයින පුවත්පත ඇසුරෙන්..