අද වන විට ගෙදර සිටින කිහිප දෙනකුම රැකියාවක් කළත් ගෙදරට මාසිකව ලැබෙන බිල්පත් ගෙවා දැමීමටම වැටුපෙන් හරි අඩකටත් වැඩි ප්‍රමාණයක් වියදම් වෙනවා.
ඉතින් මාසෙන් මාසෙට වැඩි වන විදුලි බිල්පත් ඔබේ මනසට පීඩනයක් ගෙන දෙන්නක් බව අමුතුවෙන් කිවයුතු නැහැ.
ගොඩක් ගෘහණියන් විදුලි බිල එනතුරු බලා ගෙන සිටින්නේ මේ මාසෙ නම් මොනවයින් මොනව වෙයිද දන්නෙ නෑ කියා සිතමින්. මේ විදුලි බිල් ගැටලුවට නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වීමෙන් අනවශ්‍ය වියදම් නවතා ගන්න පුළුවන් බව බොහෝ දෙනෙක් නොදන්නා කාරණාවක්. විදුලිය කියන්නේ අපි අද ජීවත් වෙන තරගකාරී ලෝකයේ නැතිවම බැරි දෙයක්. ස්මාට් ලෝකෙක දිවි ගෙවන අපිට එකමොහොතක් හෝ විදුලිය විසන්ධි වූ විට දැනෙන විඩා සහගත හැඟීම කියා නිම කරන්නත් බැහැ.
අනෙක් කාරණාව නම් විදුලිය යනු ලෝබ කමින් ආරක්ෂා කළ යුතු දෙයක් නොව අරපිරිමැස්මෙන් යුතුව ඉතා නුවණැති ආකාරයෙන් පාවිච්චි කළ යුතු දෙයක් බවත් අපි මතක තබා ගැනීම වැදගත්. අද කියලා දෙන්න සූදානම් වෙන්නේ වැඩිවෙන විදුලි බිල්පත්වලට ගෙවන මුදල ගෙදරදීම අඩු කර ගත හැකි හරිම පහසු tips කිහිපයක්.
1. භාවිතයෙන් පසු ඉලෙක්ට්‍රොනික උපාංග අක්‍රිය කරන්න
ගෙදරෙදාර වැඩකටයුතුවලදී විදුලි උපකරණ කියන්නෙ අත්‍යවශ්‍ය දෙයක්. නමුත් ඔබේ වැඩ පහසු කරන විදුලි උපකරණ ඔබේ මාසයේ විදුලි බිල වැඩි කරන්න හේතු වෙන්නත් පුළුවන්.
සැමවිටම ඔබ විදුලි උපකරණයක් භාවිතයෙන් පසු එය නිවා දැමීමමට වගේම ස්විචයෙන් ගලවා ඉවත් කිරීමට කල්පනාකාරී වන්න. ඔබ එය ස්විචයෙන් නිවා දැමුවත් එහි වයරය ගලවා නැතිනම් විදුලි බලය ක්‍රියාත්මක වන්න පුළුවන්. එය ඔබ නොදැනම ඔබේ ගෙදර විදුලිය අපතේ යන හේතුවක් විය හැකියි.
ඉතින් ඔබේ ගෙදර තිබෙන රෙදි සෝදන යන්ත්‍රය, රයිස් කුකර් එක, අවන් එක, විදුලි ස්ත්‍රික්කය ආදී විදුලි උපකරණ සෑම දිනකම ස්විචයට සම්බන්ධ කර තිබෙනවාද කියා භාවිතයෙන් පසු හොඳින් බැලීමට කල්පනාකාරී වන්න.
2. ඇඳුම් හැකි තරමක් හිරු එළියෙන් වේළා ගන්න.
බොහෝ විට ගෘහණියන් තම පහසුව තකා රෙදි සෝදන යන්ත්‍රය මඟින්ම ඇඳුම් වේළා ගැනීමටද පුරුදුව සිටිනවා. නමුත් ඔබට හැකි සෑම විටම ස්වාභාවිකව ලැබෙන හිරු එළියෙන් ඇඳුම් වේළා ගන්න.
එය ඔබේ විදුලි බිල්පතෙන් සුළු මුදලක් හෝ අඩු කර ගැනීමට උපකාරයක් වෙයි.
ඇඳුම වේළා ගැනීමට යන කාලය මඳක් වැඩි වුවත් ඔබේ මුදල් වගේම විදුලියත් ඉතිරියට මෙය හොඳම ක්‍රමයක්.
3. විදුලි බුබුළු භාවිතයේදී සැලකිලිමත්වන්න.
ඔබ සැමවිටම විදුලි බුබුළු දැමීමේදී නිවසට LED බල්බ භාවිතයට පුරුදු වන්න. LED හා CFL බල්බ ඔබට විදුලි පරිභෝජනය අඩුකර ගැනීමට උපකාරී වෙයි. විදුලිය ඉතිරි කරදෙන විදුලි බුබුළු පමණක්ම මුළු නිවසටම යොදා ගැනීමට කටයුතු කරනවා වගේම ඔබට අනවශ්‍ය විට විදුලි බුබුළු නිවා දැමීමත් හොඳින් මතක තබා ගන්න.
4. ශීතකරණයේ උෂ්ණත්වය පරීක්ෂා කරන්න.
සෑම සතියකම ඔබේ ශීතකරණයේ උෂ්ණත්වය තිබිය යුතු නියම උෂ්ණත්වයේ පවතින්නේද යන්න සහතික කර ගන්න.
එය ඔබේ ආහාර නරක් නොවී තබා ගැනීමට සහ විදුලිය ඉතිරි කරගැනීමටත් ප්‍රයෝජනවත් වෙනවා.
5. ස්වාභාවික ආලෝකය භාවිත කරන්න.
නිතරම කාලගුණය යහපත් දිනවලදී ස්වාභාවික හිරු එළිය භාවිතයට පුරුදුවන්න. ගෙදර ෙදාර ජනෙල් ෙදාරවල් හොඳින් හැර නිවස තුළට ආලෝකය ගලා ඒමට සලස්වන්න. නිවෙස හැකි සෑම විටම ස්වාභාවික ආලෝකයෙන් ආලෝකවත් කරගන්න. හැකි තරම් කාමරවල තිර රෙදි හැර තබන්න.
6. සූර්ය පැනල භාවිතයට උනන්දුවන්න. හැකි නම් පරිසර හිතකාමී සූර්ය පැනල භාවිතය හරහා අලෝකය ලබා ගැනීමට කටයුතු කරන්න. එය ඔබේ මුදල් ඉතිරියට හොඳම ක්‍රමයකි.
7. ගෑස් උදුනකට මාරු වෙන්න.
ඉවුම් පිහුම් සඳහා ඔබ භාවිත කරන්නේ විදුලි උදුනක් නම් ඔබට ගෑස් උදුනකට මාරු විය හැකියි. ගෑස් උදුනත් විදුලි උදුන වගේම කාර්යක්ෂමයි. විදුලි උදුනෙ පිසීමේදී වැඩිපුර විදුලිය වැය වීමක් සිදුවන නිසා ගෑස් උදුනක් භාවිතය තුළින් ඔබට විදුලි බිල ඉතිරි කරගත හැකිය.
ඔබත් මෙවැනි ක්‍රම අනුගමනය කර ඔබේ ගෙදර එකතුවෙන මාසික විදුලි බිල් ගෙවන මුදල අඩු කරගන්න.
උපුටා ගැනීමක්