"මැරුණාට පස්සේ ශෝකප්‍රකාශ කරලා ගුණ වර්ණනා කරලා ලිව්වට වැඩක් නෑ..."
"හුඟක් දෙනෙක් මාත් එක්ක කතා කරන්න ආසයි. ඒත් මම ප්‍රශ්න ඇති නොවන විදිහට හැසිරුණා.."
මම ඉපඳුණේ නුවර කටුගස්තොට. මගේ අම්මා නුවර. මගේ තාත්තා වැඩ කළේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ. නුවර ඉන්න බැරි නිසා අපිත් අම්මා එක්ක කොළඹට ආවා. අපි ගල්කිස්සේ කුලී ගෙදරක හිටියේ. මම මුලින්ම පාසල් ගියේ ගල්කිස්සෙ බෞද්ධ බාලිකා විද්‍යාලයට. ඊට පස්සෙ කළුබෝවිල බුද්ධඝෝෂ මහා විද්‍යාලයට. අපේ පවුලේ ගෑනු දරුවො හතර දෙනයි, පිරිමි දරුවො දෙන්නයි. මම අපේ පවුලෙ දෙවැනියා. අපේ පවුලේ ඔක්කොම ගෑනු ළමයි ලස්සනයි. අපේ කොණ්ඩ එහෙම හරි දිගයි. අපි අම්මා එක්ක පාරේ යද්දි හැමෝම කියන්නේ අම්මා වගේම අපිත් ලස්සනයි කියලා. මේ කාලේ තමයි මම ලස්සන මූණු තරගයෙන් දිනන්නේ.