දරුවාද පාසල් නිම වී අම්මා, තාත්තා දකින තෙක් නොඉවසිලිමත්ව සිටී.
එහෙත් මේ කිසිවක් හිමි නොවුණු දරුවකු පිළිබඳව අනුවේදනීය කතාවක් දෙණියාය කොස්මෝදර ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි.
2021 වර්ෂයට පාසල්වල පළමු ශේර්ණියට දරුවන් ඇතුළත් කර ගැනීම සිදුවූයේ පසුගිය පෙබරවාරි 15 දිනයි. දරුවට වයස අවුරුදු 1යි මාස 6ක් වුණා පමණයි. සිය මවට හඳුනා නොගත් උණ රෝගයක් වැලැඳීම නිසා මාතර මහ රෝහලේදී මව සිය ජීවිතයෙන් සමුගනියි.
මවුකිරි බොන වයසේදී දරුවට මව අහිමි වීම කෙතරම් නම් බලපානවාද කියා පියා දන්නවා. මව අහිමි වූ දරුවා රැක බලා ගන්නේ තාත්තා, ආච්චි සහ සීයා විසින්ය.
දරුවා සිතන්නේ මව මියගොස් නැවැත ඉපදිලා තමා ළඟ ඉන්නා බවයි. ඒ ආච්චිට මව යැයි ආමන්ත්‍රණය කිරීම නිසාය. දරුවට වයස අවුරුදු 6 සම්පූර්ණ වෙලා පළමු ශේර්ණියට දරුවා ඇතුළත් කරන්න නියමිත දිනයට පෙර දින සිය පියාත් දරුවා තනිකර මව ගිය තැනටම ගියාම ඇතිවන තත්ත්වය කෙතරම් කනගාටුදායකද.
කොස්මෝදර ළහිරු පෙර පාසලේ පෙර පාසල් පාලිකාව වූ කේ. රේණුකා මහත්මිය මව අහිමි දරුවාට මවක් වෙමින් කිසිම මුදලක් ලබා නොගෙන තම මුදල් වැය කර දරුවාට අවශ්‍ය පොත්පත් ලබාදෙමින් වසර දෙකක් පෙර පාසල් අධ්‍යාපනය ලබා දෙන්නට තරම් කාරුණික වුවාය.
මව නැති අඩුව දරුවාට දැනෙන්නට ඉඩ නොදී වැදූ මව නොවුණත් හැදූ මව වෙමින් වසර දෙකක් පමණ පෙර පාසල් අධ්‍යාපනය ලබාදී තිබිණි. පසුගිය 15 දින මෙම දරුවා දෙණියාය අධ්‍යාපන කලාපයේ ඉලුක්පිටිය කනිෂ්ඨ විද්‍යාලයට ඇතුළත් කිරීමට නියමිතව තිබිණි.
මව අහිමි වූ දරුවාට නිවෙසේදී මව සහ පියාට සිටියේ ආච්චි සහ සීයාය. සිය පියා ගම්පහ ප්‍රදේශයේ ඉදිකිරීම් වැඩපළක රැකියාව කළ අතර මව අහිමි දරුවා පාසලට භාරදීම සඳහා දරුවාට අවශ්‍ය පොත්පත් බෑග් ඇතුළු පාසල් උපකරණ තමන් පැමිණි පසු මුදල් ගෙවන බව පවසා හිතවත් පොත් කඩයකින් ණයට ලබා ගන්නා ලෙසට සිය මවට පවසා දරුවා පාසලට භාරදීමට නියමිත දිනට එන බව පවසා ඇත.
දරුවාගේ පියා ගම්පහ ප්‍රදේශයේ රැකියාවට යෑමට. පෙර නිවෙසේ සිටි කාලයේ කිතුල් මලක් මැද පැණි හදා තිබී ඇති අතර ඒ පැණි විකුණා දරුවාට අවශ්‍ය පොත්පත් බෑග් අරන් දෙන්න ආච්චි පියවර ගෙන තිබිණි.
පෙබරවාරි 13 දින රාත්‍රි පියා දරුවාට දුරකථයෙන් කතා කර පවසා ඇත්තේ පුතා පාසලට භාර දෙන්න මම හෙට එනවා. මම එනකොට පුතාට ඩෝසරයක් අරගෙන එනවා කියලයි. මේ දරුවා සෙල්ලම් ඩෝසරවලට පුදුම ආදරයක් තියෙන්නේ. පියා දරුවාට කතා කළොත් කියන්නේම දරුවා ඩෝසරයක් අරන් එන්න කියලා බව දරුවාගේ ආච්චි අපි සමඟ පැවැසුවාය. සුපුරුදු පරිදි තාත්තා ඩෝසරයත් අරගෙන පාසලට යන්න එනවා කියා පුතා මඟ බලාගෙන සිටියේය.
එහෙත් ජීවිතය අනියතයි කියන බුදු බණ සත්‍ය බව පසක් කරමින් පුතාට සහ මෑණියන්ට 13 දින රාත්‍රි දුරකථයෙන් කතා කර 14 දින පැමිණෙන බව පවසා නින්දට ගිය ඔහු 14 දින නිවෙසට පැමිණියේ වෙනදා මෙන් නොවේ. 14 දින පියා එනවිට පුතාට ඩෝසරයක් ගෙනාවේ නැත.
ගම්පහ ප්‍රදේශයේ නිවාස ඉදිකිරීම් වැඩ පොළකදී මෙසේ නින්දේදී අවාසනාවන්ත ලෙස මියගොස් තිබුණේ කොටපොළ, කොස්මෝදර පදිංචි වයස අවුරුදු 32 වූ ජාලත්ගේ ප්‍රියන්ත යන එක්දරු පිය. දරුවා පාසලට භාර දෙන්න පුතා එන තෙක් බලා සිටි මවුපියන් මේ දුක කෙසේ දරාගෙන ඉන්නද. දරුවාට මව අහිමි වුණා.
දැන් පියත් අහිමි වුණා. පෙබරවාරි 15 දින පියා සමඟ පාසලට යන්න සිටි දරුවාට මව වූයේ කොස්මෝදර ළහිරු පෙර පාසලේ ගුරුතුමිය වූ කේ. රේණුකා මහත්මියයි.
පෙර පාසලේදී වසර දෙකක පමණ කාලයක් මව මෙන් සිටි ගුරුතුමිය මෙදිනද දරුවා ඉලුක්පිටිය කනිෂ්ඨ විද්‍යාලයට පළමු ශේර්ණියට භාර දෙන්න යන්න තරම් කාරුණික වුණා. දරුවාගේ මිත්තණිය සමඟ ගොස් ඉලුක්පිටිය කනිෂ්ඨ විද්‍යාලයට දරුවා භාර දුන්නේ පෙර පාසල් ගුරුතුමියයි.
මවුපියන් අහිමිව මිත්තණිය සහ පෙර පාසල් ගුරුවරිය සමඟ පාසල් යෑමට සිදු වූයේ කොටපොළ කොස්මෝදර, වෙලේගෙදර ලිපිනයේ පදිංචි 06 හැවිරිදි ජාලන්ගේ නෙතුල නෙත්සර නමැති දරුවාටයි.
දරුවාට වයස අවුරුදු එකහමාරේදී මවට හදිසියේ ඇති වූ උණ රෝගයක් වැලැඳී මියගොස් දරුවාට කුඩා කාලයේදීම මවු සෙනෙහස අහිමි වී තිබූ අතර මවු සෙනෙහස අහිමි වූ දරුවාට මවු සෙනෙහස ලබාදීමට සිදු වූයේ පියාටය.
මෙම පවුලට ස්ථිර ආදායමක් නොතිබූ බැවින් දරුවාගේ පියාට පෙදරේරු රැකියාව සඳහා ගමෙන් පිට වීමට සිදුවිය. පියාද ළඟ නැති දරුවාට මවු සෙනෙහස සහ පිය සෙනෙහස ලබාදීමට සිදුවූයේ මිත්තණිය සහ සීයාටය. මිත්තණිය සහ සීයාගේ සෙවණේ සිටි දරුවා පෙර පාසල් අධ්‍යාපනය ලබාදීමට කොස්මෝදර ළහිරු පෙර පාසලට දරුවා ඇතුළත් කළ අතර එතැන් පටන් දරුවාට මවක් මෙන් පිහිටට සිටියේ කොස්මෝදර ළහිරු පෙර පාසලේ පාලිකාව වූ කේ. රේණුකා මහත්මියයි.
පෙබරවාරි 15 දින දරුවා පාසල් ගොස් නිවෙසට පැමිණෙන විට පුතාට ඩෝසරයක් අරගෙන එන බව පැවැසූ පියා නිවෙසේ පෙට්ටියක සිටිනු දැකීම මොනතරම් නම් අනුවේදනීයද. වයස අවුරුදු 06 මෙම දරුවා අදටත් තම පියා ඩෝසරයක් අරගෙන එන බව පවසමින් මඟ බලා සිටී.
අද වනවිට මෙම දරුවාට රැකවරණය ලබාදීම මිත්තණියට සහ සීයාට හැකියාවක් නොමැත. මිත්තණියගේ එක ඇසක් නොපෙනෙන අතර සීයාගේද එක කකුලක් කොටය. මිත්තණියට සිදුවූ අනතුරකින් එක ඇසක් අන්ධ වූ බවත් සීයා ඇදවැටීමෙන් කකුල කැඩී සනීප වුවත් කකුල කොට වී ඇත.
ඒ දෙදෙනාටම අද වනවිට කුලී වැඩක් කර ගැනීමටවත් ශක්තියක් හැකියාවක් නොමැතිව අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇත. දුප්පත්කමේ පහළම තැනට වැටී සිටින මෙම පවුලට සමෘද්ධි දීමනාවත් ලබාදී නොමැත. මේ නිවෙස පිහිටි ප්‍රදේශයේ පදිංචි පවුල් ගණනාවක් ඇති අතර ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය කිතුල් මල් මැදීම හෝ කුලී වැඩයි. මිනිසකුගේ මූලික අවශ්‍යතා පවා සපුරා ගැනීමට නොහැකිව දුප්පත්කමේ අඩියටම මෙම පවුල වැටී ඇති අතර සමෘද්ධි සහනාධාරය පවා ලබා නොදෙන අතර දිනකට වේල් තුනෙන් එකක් කන තත්ත්වයට මේ පවුල පත්ව තිබීම මොනතරම් නම් ඛේදජනකද. සමෘද්ධි සහනාධාරය ලබා දිය යුත්තේ මෙවැනි පවුල්වලට වුවත් අද සමෘද්ධි සහනාධාරය ලබාදීමේ මූලික සුදුසුකම බවට පත්ව ඇත්තේ දුප්පත්කම නොව තේ අක්කර 2-3ක් තිබීමය.
මව සහ පියා අහිමි දරුවාට රැකවරණය ලබාදීමට තමන්ට වත්කමක් නොමැති බවට මිත්තණිය සහ සීයා අපිට පැවැසුහ.
''දරුවා පාසලට එක්කගෙන යෑම එක්කගෙන ඒම වගේම දරුවට අවශ්‍ය අඩුපාඩු කන්න බොන්න ලබාදීමට පවා දැඩි අපහසුතාවකට පත්ව ඇති බවට ඔවුන් කියා සිටියි. දරුවත් සෙල්ලම් බඩු ඉල්ලනවා. වෙළෙඳසලකට ගියාම දකින දේ ඉල්ලනවා. පාසල් ගියාම අනෙක් දරුවන් වගේ විවේක කාලයට කඩ කෑම කන්න, පාසල් ඇරිලා නිවෙසට එනවිට කඩ කෑම කන්න දරුවන් ආසයි..."
ඒත් ඒ කිසිවක් මේ දරුවට ලබාදීමට මිත්තණියට හැකියාවක් නොමැත. දරුවට අඳින්න ඇඳුමක්, තුන්වේල කන්න දෙන්න ඒ කිසිවක් කරගන්න බැරුව අද වනවිට අසරණ තත්ත්වයට පත්ව සිටින ආකාරය අපට දැකගන්න ලැබුණා. කුඩා කාලයේදීම මව අහිමි වුණා. ඒ අඩුව දරුවට දැනෙන්න නොදී පියා සහ මිත්තණිය ඇතුළු පවුලේ අය කටයුතු කරමින් සිටින අවස්ථාවේ තමයි නොසිතූ අවස්ථාවක පියා අහිමි වන්නේ. මව පියා අහිමි මේ දරුවට පාසල් යන්න පොත්පත්, බෑග්, ත්‍රීවීල් ගාස්තු පවා ලබාදී පිහිට වන්න තරම් කොස්මෝදර ළහිරු පෙර පාසලේ පාලිකාව අදටත් කටයුතු කරමින් සිටින බවට අසල්වැසියෝ අප සමඟ පැවැසූහ.
දැනට දරුවා සහ මිත්තණිය සහ සීයා පදිංචි නිවෙසේ දහසක් අඩුපාඩු ඇත. දරුවාට පමණක් නොව පවුලේ අනෙක් අයටවත් සනීපාරක්ෂක කටයුතු කර ගැනීමට පවා ස්ථිර ස්ථානයක් නොමැත. මව පියා අහිමි මේ දරුවාට අධ්‍යාපනය ලබා දෙන්න ශිෂ්‍යත්වයක් හෝ ලබා දෙන්න පුළුවන් නම් ඒක විශාල පුණ්‍යකර්මයක් වෙනවා. මවු පිය අහිමි දරුවට අද මවුපිය රැකවරණය ලබාදෙන්න සිදුව ඇත්තේ වයෝවෘද්ධ මිත්තණියට සහ සීයාටය. මවුපිය සෙනෙහස අහිමි දරුවට පාසල් අධ්‍යාපනය ලබා දෙන්න ශිෂ්‍යත්වයක් හෝ වෙනයම් උපකාරයක් කරන්න පුළුවන් නම් ඒක විශාල පිනක් බවට අසල්වැසියෝ පවසති.
නොසිතූ මොහොතක මවුපිය සෙනෙහස අහිමිවූ වයස අවුරුදු 06ක් වූ නෙතුල නෙත්සර දරුවාට අධ්‍යාපනය ලබා දෙන්න ඇතුළු පවුලේ දියුණුවට උදවු කරන්න ඔබටත් අවස්ථාව දැන් උදාවෙලා තියෙනවා.
උෟරුබොක්ක - අතාවුද පතිරණ
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්..