බ්‍රිතාන්‍යය රජ පවුල සමඟ තමා ගත කළේ ඉතා අමිහිරි වකවානුවක් බවට හැරී කුමරුගේ බිරිඳ මේගන් මාකල් කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් බකිංහැම් මාළිගාවේ ද අවධානය යොමුවී තිබෙනවා.
සුප්‍රකට ඔප්රා වින්ෆ්‍රේ සමඟ සාකච්ඡාවකට එක්වෙමින් මේගන් මාකල් කියා සිටියේ තම පුතුට උරුම විය හැකි අඳුරු පැහැ සම ගැන සිතා ඔහුට හිමිවිය යුතු කුමාර තනතුර පවා අහිමි කිරීමට බ්‍රිතාන්‍යය රාජකීයන් කටයුතු කළ බවයි.
අමෙරිකාවේ සී.බී.එස්. රූපවාහිනී නාළිකාවේ ඔප්රා වින්ෆ්‍රේ සමඟ පැවති මෙම සම්මුඛ සාකච්ඡාවේදී හැරී කුමරුගේ බිරිඳ මේගන් මාකල් බ්‍රිතාන්‍යය රාජකීයන් සමඟ තමන්ට මුහුණදීමට සිදුවූ කටුක අහිමිරි අත්දැකීම් සම්බන්ධයෙන් ආන්දෝලාත්මක අනාවරණ රැසක් සිදුකළා.
හැරී - මේගන් යුවළගේ අනාවරණ සම්බන්ධයෙන් බකිම්හැම් මාළිගය මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට නියමිතව තිබුණත් දෙවන එළිසබෙත් මහරැජිණ ඊට අනුමැතිය ලබා දී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
2018 වසරේදී විවාහ වූ හැරී කුමරු සහ මේගන් මාකල්ගේ කුළුඳුල් දරුවා වන ආචි හැරිසන් 2019 වසරේදී මෙලොව එළිය දුටු අතර, මේ වනවිට මේගන් මාකල් දෙවන වරටත් ගර්භනී තත්ත්වයේ පසුවනවා.