හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ වන meghan markle විසින් බකිංහැම් මාලිගය තුළ ජීවිතය පිළිබඳ හෙළිදරව් කිරීමෙන් පසුව, එංගලන්තයේ දෙවැනි එළිසබෙත් රැජින අර්බුදකාරී සාකච්ඡාවල නිරත වූ බව එංගලන්තයේ මාධ්‍ය වාර්තා කරයි.
සියදිවි නසාගැනීමේ සිතුවිලි, ජාතිවාදය සම්බන්ධ කාරණා මෙන්ම එංගලන්ත කිරීටයේ උරුමක්කාරයන් සම්ප්‍රදායට කොටුවී සිටීම සම්බන්ධයෙන් ඇමරිකාවේ සුප්‍රකට රූපවාහිනී සාකච්ඡාවකදී meghan markle සහ හැරී කුමරු දෙදෙනා හෙළිදරව් කළා . සුප්‍රකට රූපවාහිනී නිවේදිකාවක වන ඔපාරා වින්ෆ්‍රී සමඟ සසෙක්ස්හි ආදිපාදවරයා (හැරී කුමරු) සහ සසෙක්ස්හි ආදිපාදවරිය එකට වාඩි වී සිටීමත් බොහෝ දෙනා විමතියට පත්කරන්නක් වුවා. එහෙත් මේ වන විට දෙදෙනාම රාජකීය තනතුරු අතහැර ඇති හෙයින් සසෙක්ස්හි අදිපාදවරයා හෝ අදිපාදවරිය ලෙසින් හඳුන්වනු ලබන්නේ නැහැ.
මෙම රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව, හැරී කුමරුන්ගේ අභාවප්‍රාප්ත මව වූ, ඩයනා කුමරිය විසින් 1995 දී ලොව සළිත කරවමින් කළ හෙළිදරව්වට පසුව එංගලන්තයේ බකිංහැම් මාළිගය දෙදරවූ සිදුවීමක් වූ බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබෙනවා.
තම පියා වන චාල්ස් කුමරු තමන්ව “හුදෙකළා කරදැමූ” බවත්, තමන්ගේ දුරකථන ඇමතුම් වලට උත්තර දීම නතර කර ඇති බවත් හැරී කුමරු විස්තර කර සිටියා. එංගලන්ත රජ කිරුළේ උරුමක්කාරයා වන චාල්ස් කුමරු මෙන්ම තමන්ගේ වැඩිමහල් සහෝදරයා වන විලියම් කුමරු යන දෙදෙනාම රජ පවුලේ සම්මුතීන් වලට “කොටු වී සිටින” බවද හැරී කුමරු මෙම රූපවාහිනී වැඩ සටහනේදී සඳහන් කිරීම විශේෂත්වයක් වුවා.
“ඔවුන්ට ගැලවීමක් නෑ... ඒ සම්බන්ධයෙන් මට විශාල අනුකම්පාවක් තියෙනවා” යයි හැරී කුමරුන් සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබුනා. හැරී කුමරුන් එසේ පවසා සිටියේ එංගලන්තයේ රජ පවුලෙන් ඉවත්වී යාම සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමිනුයි.
මෙම සාකච්ඡාවට හැරී හා මේගන් සම්බන්ධ වීම වගේම එහිදී රජමාලිගය හා එහි නීතිරීති රහස් එළිපිට දැමීම ගැන මේ වෙද්දී මහරැජින කම්පාවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.