මාතෘත්වය ලැබීමෙන් පසුව සිය පුතණුවන්ගේ අනාගතයට මුල්තැන දෙමින් කලාව තුළ ඉදිරියට යෑම හිමාලිගේ අපේක්ෂාව වී තිබෙන අතර ඇය සතිඅන්ත පුවත්පතකට ලබා දුන් සාකච්ඡාව පහතින්..
හිමාලි මේ වෙනකොට නිර්මාණ කීයකට දායක වෙමින් සිටිනවාද?
මගේ ටෙලිනාට්‍ය තුනක් මේ වෙද්දී විකාශනය වෙනවා. හිරු ටී.වී. එකේ ලංවී කියන නාට්‍ය මේ දිනවල විකාශනය වෙන්නේ. එම නාට්‍යවලට දායකත්වය දෙමින් මව කියන භූමිකාවටත් මුල්තැන දෙමින් කාලය ගත කරනවා.
නර්තන කණ්ඩායමේ කටයුතුත් ඒ අතරේ කෙරෙනවාද?
ඇත්තටම මම නර්තන කණ්ඩායම නවත්තලා කාලයක් වෙනවා. බබා හම්බ වුණාට පස්සේ එයාගේ වැඩ මඟඇරෙයි කියලා හිතුණ නිසාම මම නර්තන කණ්ඩායමේ වැඩ නැවැත්තුවා. ඉතින් නර්තන කටයුතු මුකුත් දැන් කෙරෙන්නේ නැහැ. මේ වෙනකොට ටෙලි නාට්‍යවල රඟපාන ගමන් පුතාගේ වැඩකටයුතු, එයා මේ වෙද්දි පෙර පාසල් යන නිසා ඒ කටයුතුත් සියල්ල මගේ අතින් තමයි සිදු කරන්නේ. කාලය කළමනාකරණය කරගනිමින් ඒ දේවල් සියල්ල කරගෙන යනවා.
ඒ කියන්නේ මේ මොහොත වන විට හිමාලි කාර්යබහුල මව කියන භූමිකාවට තමයි මුල්තැන තිබෙන්නේ?
ඔව් ඇත්තටම. මම පුතා නිසාම නර්තනය අත්හැරියා. ඒ එයාගේ කටයුතු මඟඇරුණොත් කියන අදහසින්. මම ගොඩක් ක්ෂේත්‍රයේ වැඩ කළ කෙනෙක්. අපේ ඊළඟ පරම්පරාව කියන්නේ අපේ දරුවෝ. ඒ කටයුතු මඟඇරෙයි කියන එක නිසාම මම ගොඩාක් කාර්යබහුල වෙන්න කැමැති නැහැ. ඒ නිසාම බොහොම සමබරව හැම වැඩක්ම කරගෙන යනවා.
ප්‍රතිභාව වැඩි කරගන්න කරන අභ්‍යාසයන් සහ පරිශීලනය කරන පොතපත ගැන කිව්වොත්?
ඇත්තම කියනවා නම් මම පොත් කියවන්න ටිකක් කම්මැළියි. මගේ නර්තනය පැත්තෙන් ඒ අභ්‍යාසයන් කරන්න මම කැමැතියි. මොකද මම නර්තනය කියන දේට කොච්චර දක්ෂ වුණත් මේ පුහුණුවීම් නැති වුණොත් අපි ඒකෙන් අෑත් වෙනවා. ඒ හුරුව අපිට නැතිවෙලා යනවා. මම නර්තනයෙන් අෑත් වෙලා අවුරුදු හතරක්. එයින් පස්සේ මම නර්තනයේ යෙදුණේම නෑ. නමුත්, දැන් මම හැමවෙලේම මට ඉගෙනගන්න තියෙන දේවල් ගැන හොයල බලනවා. ඒ දේවල් ගැන අප්ඩේට් වෙනවා හැම වෙලේම. ඒ වගේම තමයි රංගනයට ඉන්දියානු හෝ විදේශීය හෝ සිංහල චිත්‍රපටවලින් මොනවා හරි ගන්න ලැබෙනවා කියලා හිතෙනවා නම් ඒ හොඳ දේවල් මම හැමවෙලේම අධ්‍යයනය කරනවා. කොච්චර කාලය වැය වුණත් දුරකථනය අපේ ළඟ තියෙන නිසා කොහේ හරි යන ගමන් වුණත් ඒ ගැන සොයා බලමින් තමයි සිටින්නේ. ඒ නිසා නිරන්තර පුහුණුව මම කවදාවත් අත්හැරියේ නෑ. ඒකත් එක්ක මම හිතනවා මගේ ප්‍රතිභාව වැඩි කරගන්න මට පුළුවන් වෙලා තියෙනවා කියලා.
සමාජ මාධ්‍ය මඟින් ජනප්‍රියතාව, දක්ෂකම රැකගන්න සහායක් තියෙනවාද?
මේ වෙද්දි මම දකිනවා ‘ඉන්ස්ටග්‍රෑම්’ එකේ අපේ නළු නිළියන් ගොඩක් දේවල් කරනවා. මමත් ඒවා ආසාවෙන් බලනවා. නමුත් පෞද්ගලිකව මම ඒවාට ඇබ්බැහි වීමට කැමැති නෑ. මොකද මම හිතනවා ඒකෙන් අපේ නිදහස ඇහිරෙනවා. සමහර දේවල් තමයි අපි කන්න ගියත් අපිට නිදහසක් නැහැ. ෆොටෝස් අරන් ප්‍රසිද්ධ කරන එක රාජකාරියක් බවට පත්වෙලා තියෙනවා සමහර අයගෙ. මම එහෙම වෙන්න කැමැති නෑ. මොකද මට හිතෙනවා එතකොට අපේ නිදහස නැති වෙයි කියලා. ඉඳලා හිටලා facebook, instagram පාවිච්චි කරනවා. නමුත්, මම ඒකට ඇබ්බැහි වෙලා කළ යුතුම දෙයක් කියලා හිතාගෙන නැහැ. ඒත් සමහර අය මේව ඇතුළෙ ලස්සනයි. තමන්ගේ දක්ෂතාව පෙන්නන්න ඇත්තටම සමහරු ඒක ප්‍රයෝජනයට ගන්නවා. මම ඒ පැත්තට නැඹුරු වෙලා නැහැ. සමහර වෙලාවට ඒක මගේ අඩුපාඩුවක් වෙන්න පුළුවන්. ඒත්, හැමදේම රටේ ලෝකෙ මිනිස්සු දැනගන්න ඕනෑ කියලා මම විශ්වාස කරන්නේ නැහැ. අපේ පෞද්ගලිකත්වය රැකගෙන අවශ්‍ය දේ දාන්න ඕනේ කියන මතයේ තමයි මම ඉන්නේ.
ලංකාවේ සිනමාව තුළ තමන්ගේ ප්‍රතිභාව පෙන්නන්න හිමාලිට නිසි අවස්ථාවක් ලැබුණා කියලා හිතනවද?
ඇත්තටම සිංහල සිනමාව තුළ නම් මට නිසි අවස්ථාවක් ලැබුණේ නෑ. ඒ ගැන පොඩි පසුතැවිල්ලක් මට හැමදාම තියෙනවා. මොකද මගේ නර්තන කටයුතු පැත්තෙන් ගත්තත් ගොඩක් දේවල් කරන්න පුළුවන්කම තියෙනවා මට. ඒ ගැන මම විශ්වාස කරනවා. මගේ දක්ෂතාවට එහෙම අවස්ථාවක් ලැබුණද කියන එක ගැන මට ප්‍රශ්නාර්ථයක් තියෙනවා. මම හරිම ආසාවෙන් සිනමාවට සම්බන්ධ වෙන්න හිටියා වගේම නිර්මාණ කිහිපයකට සම්බන්ධ වුණා. නමුත් ඒ මගේ හිතේ තිබුණු නිර්මාණම නෙමෙයි. තව මගේ නිර්මාණ දෙකක් ඉස්සරහට එන්නත් තියෙනවා. සමහර උසස් ගණයේ චරිතවලට මට අවස්ථාව ලැබුණත් ඒ චරිත මට ලැබුණේ මගේ සීමාවෙන් පිට. මම ඇත්තටම ඒවා පිළිගත්තේ නැහැ. ඒවා සම්මානවලට යන්න පුළුවන් හොඳ නිර්මාණ. ඒ චරිතවලට විදේශ සම්මාන පවා ලැබුණා. ඒත් ඒ ගැන මට දුක නැහැ. මොකද මං හැමදාමත් මම මගේ සීමාව තෝරාගනිමින් මගේ ප්‍රතිපත්තිවල හැමදාම හිටිය නිසා. ඒ නිසා මම ඒවා ප්‍රතික්ෂේප කළා. ඒ ගැන මට කිසිම පසුතැවිල්ලක් නැහැ. හොඳ චරිතයක් කරන්න මට ලැබුණ නම් කියන ආසාව මට හැමදාම තිබුණා. ඒත්, මට සිනමාවෙන් සාධාරණයක් ඉෂ්ට වුණේ නෑ කියන එක තමයි මට තියෙන අවසන් අදහස.
ප්‍රේක්ෂකයන් කැමැති ඇති හිමාලි ගෙවන දින චර්යාව ගැන දැනගන්නත්?
රූගත කිරීම් නැති දවසක නම් උදේට පුතාව මොන්ටිසෝරි ගෙනියන්නෙ මම. ඒ දවස්වලට මම උදේම නැඟිටිනවා. සාමාන්‍යයෙන් මගේ රූපලාවණ්‍ය වැඩ තමයි මම පළමුව කරන්නේ. ඒ සමඟ මම හොඳට වතුර බොනවා. ඊට පස්සේ ගෙදර වැඩ කටයුතු කරනවා. මම පුරුදු වෙලා ඉන්නවා බබා ඉස්කෝලේ දාලා ඒ අතරතුර මගේ ව්‍යායාම කරන්න. මම මගේ කාලය ප්‍රයෝජනයට ගන්නේ එහෙමයි. මේ කටයුතු හැම එකක්ම ඇතැම් විට බොහොම හදිසියේ කළත් ඒවා ඉතා පිළිවෙළට කරන්න මම පුරුදුවෙලා තියෙනවා. හැමදාම මේ පිළිවෙළටමයි වෙන්නේ කියලා කියන්න අමාරුයි. රූගතකිරීම් නැති දවසක නම් එහෙම තමයි කරන්නේ. ඇත්තටම මගේ අක්කා ඉන්නවා මගෙ තනියට සහ සෑම දේකටම උදව්වට. අනෙක් එක මගේ සැමියා. එයත් මට සෑහෙන්න උදවු කරනවා පුතාගේ කටයුතු සාර්ථකව කරගන්න. මම ෂූටිං යන දවසට මගේ මහත්තයා තමයි මගේ වගකීම් භාරගන්නේ. හැමවෙලේම සහයෝගය ඇති පවුලක් හැටියට අපි කටයුතු කරගෙන යනවා.
අලුතින් ක්ෂේත්‍රයට එන කලාකරුවන්ට තමන්ගේ ප්‍රතිභාව සමඟ ඉදිරියට යෑම වෙනුවෙන් හිමාලිගෙන් ලැබෙන්නේ මොන වගේ උපදෙසක්ද?
ඇත්තටම සමහරු කියනවනේ මේ ක්ෂේත්‍රයට එන්න හරිම අමාරුයි කියලා. ඇත්තටම මට ඒ ගැන එහෙම නරක අත්දැකීම් නෑ. අපි යහපත් නම්, අපි දක්ෂ නම් අපි යන මාර්ගය තීරණය කරන්න අපිට පුළුවන්. මගේ නර්තන කණ්ඩායම ඇතුළෙ ගුරුවරියක් හැටියට මම දිගු කාලයක් වැඩ කළා. විශේෂයෙන්ම යොවුන් වයසේ ගෑනු ළමයින් මගේ සිසුන් හැටියට වැඩ කළේ. මට පුළුවන් වුණා ඒ ළමයින්ට ක්ෂේත්‍රයේ හොඳ නමක් තියාගෙන දිගු ගමනක් යන්නට උදවු කරන්න. මේ ක්ෂේත්‍රය එහෙම නරක තැනක් නෙමෙයි. පරිස්සමින් කලබලයක් නැතිව ගමනක් ගියොත් මේක හරිම සුන්දර තැනක් වෙයි. මොකද කලාකරුවෝ කියන්නේ හරිම සුන්දර පිරිසක්.
ශිවන්ති ප්‍රනාන්දු
මව්බිම හදගැස්ම අතිරේකයෙන්..