ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නිර්මාණය කළ සන්දේශය, ගම්පෙරලිය, ගොලු හදවත, නිධානය, දෙලොවක් අතර අහසින් පොළොවට, මඩොල්දූව, වීර පුරන් අප්පු, බැද්දේගම, යුගාන්තය, කලියුගය, අවරගිර, වෑකන්ද වලව්ව, අම්මාවරුනේ වැනි සෑම සිනමා කෘතියක්ම ජාත්‍යන්තර අවධානය දිනා ගත්තා.
මෙරට සිනාවට කළ සේවය වෙනුවෙන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නමින් කෞතුකාගාරයක් සහ සිනමා පාසලක් ඉදිකිරීම සඳහා ව්‍යාපෘතියක් 2019දී ආරම්භ වුණු අතර එම ව්‍යාපෘතියේ වැඩකටයුතු මේ වනවිට නතර වී ඇති බව කොප් කමිටුවේ දී අනාවරණ වී තිබෙනවා.
කෞතුකාගාරයේ සහ සිනමා පාසලේ ව්‍යාපෘතිය රුපියල් මිලියන 99.9ක ඇස්තමේන්තුවක් යටතේ 2019 වසරේ අප්‍රේල් 5 වැනිදා ආරම්භ කර එම වසරේම ජූලි 10 වැනිදා වැඩ නිම කළ යුතුව තිබුණා.
ඒ සම්බන්ධයෙන් කෝප් කමිටුව සිදු කළ විමර්ශනයේ දී එහි පළමු අදියර සඳහා රුපියල් මිලියන හයක බිල් ඉදිරිපත්ව ඇති අතර, ඉන් රුපියල් මිලියන 4ක බිල් නිරවුල් කර තිබෙනවා.
කෙසේ වෙතත් එම කාර්යය සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබාදී නොමැති බවද අභ්‍යන්තර විගණක විසින් කෝප් කමිටුව හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇති බව සඳහන්.
මේ බව 9 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරයේ කෝප් කමිටුවේ තුන්වන වාර්තාවේ දක්වා ඇති අතර, සිදුවී ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස කාරක සභාව නිර්දේශ කර තිබෙනවා.
එසේම මෙම සංකල්පය පිළිබඳව කඩිනමින් ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම සහ සිනමා පාසල ඉදිකිරීම පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් සිදුකරන ලෙසද එමඟින් වැඩිදුරටත් දක්වා තිබෙනවා.