නාත්තණ්ඩියෙන් හමුවූ හිස කඳින් වෙන් කරන ලද මළ සිරුර බොරලැස්ගමුවේදී පැහැර ගත් මතුගම පදිංචිව සිටි අයෙකුගේ බවට තොරතුරු හෙළි වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ ඊයේ (25) රාත්‍රියේ මිය ගිය පුද්ගලයාගේ පියා විසින් මාරවිල රෝහලේදී දේහය හඳුනාගෙන ඇති බවයි. මිය ගොස් ඇත්තේ 43 හැවිරිදි මතුගම - මීගහතැන්න - පැලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.
හලාවත - මාරවිල - නාත්තණ්ඩිය - හොර වංගුව මාර්ගයේ 25 කණුව අසළ තිබී පෙරේදා රාත්‍රියේ හිස කඳින් වෙන් කරන ලද මළ සිරුරක් සොයා ගනු ලැබුවා. ඒ, පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරකට අනුවයි. කුමන හේතුවක් මත මොහු පැහැරගෙන ගොස් ඝාතනය කළේ ද යන්න මෙතෙක් තොරතුරු හෙළි වී නැහැ.
කෙසේ නමුත් ඝාතනයට ලක්වූ අය විසින්ද මිනිස් ඝාතනයක් සිදු කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් වූ නඩුව මේ වන විට කළුතර අධිකරණයේ විභාග වන බවද ඔහුගේ දරුවන් පවසා ඇත.