කාන්තාවක් ඝාතනය කර ගමන් බෑගයක දමා පිටකොටුව - බැස්ටියන් මාවත බස් නැවතුම්පොලේ දමා යාමේ සිද්ධියට සම්බන්ධ සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය අද අත්අඩංගුවට ගත්තා. මන්නාරම - කෝවිල්කුලම ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු නිවසක පෙදරේරුවෙකු ලෙස සේවය කරමින් සිටි බවයි කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේ.
ගමන් බෑගය තුළ තිබූ මෙම කාන්තා මළ සිරුර සොයා ගත්තේ පසුගිය 29 වනදායි. අනතුරුව සිදුකළ පරීක්ෂණවලදී එම මළ සිරුර යාපනය - වඩුක්කෝඩෙයි ප්‍රදේශයේ පදිංචිකාරිනියකගේ බවට අනාවරණ වූ අතර, ඇය සතියක පමණ කාලයක් හෙට්ටිවීදිය ප්‍රදේශයේ තාවකාලික ලැගුම්හලක තවත් පුද්ගලයෙකු සමඟ රැඳී සිටි බවට කරුණු හෙළි වුණා.
එම ලැගුම්හලේ සහ අවට සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල සටහන් වූ දර්ශන උපයෝගී කරගනිමින් කොළඹ අපරාධ කොට්ඨාසය සැකකරු හඳුනාගත්තා. අනතුරුව ලබාගත් දුරකතන ඇමතුම් උපයෝගී කරගනිමින් එම පුද්ගලයා රැඳී සිටින ප්‍රදේශය සොයා ගැනීමට හැකි වූ බවයි කොළඹ අපරාධ කොට්ඨාසයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ. ඒ අනුව මෙම පුද්ගලයා යාපනය - නල්ලුර් පදිංචි 44 හැවිරිදි තුන්දරු පියෙකු බවට අනාවරණය වී තිබෙනවා.
මේ වනවිට ඝාතනය සිදුකළ ආකාරය පිළිබඳව ඔහු පොලිසියට පාපොච්චාරණයක්ද සිදුකර අවසන්. ඒ අනුව කාන්තාවගේ සැමියා විදේශ ගතවූ පසු දීර්ඝ කාලයක් තිස්සේ ඇය සහ සැකකරු අඹු සැමියන් ලෙස ජීවත්ව සිට ඇති අතර, මොවුන් කොළඹට පැමිණ ඇත්තේ මීට වසර 03 කට ඉහතදීයි.
ආමර්වීදිය, කඳාන යන ප්‍රදේශවල ජීවත් වූ මොවුන් කඳාන ප්‍රදේශයේ කුකුළු ගොවිපොළකද සේවය කර තිබෙනවා. එහිදී සැකකරුට දාව අදාළ කාන්තාව දරුවෙකු ප්‍රසූත කර ඇත්තේ රාගම රෝහලේදීයි. දරුවා රෝහලේ දමා පැනගොස් ඇති මෙම කාන්තාව සැකකරු සමඟ අනතුරුව දිවුලපිටිය ප්‍රදේශයේ තවත් කුකුළු ගොවිපොළක සේවය කර තිබෙනවා.
ඔවුන් පසුගිය 22 වනදා අවසන්වරට රැඳී සිටි හෙට්ටිවීදියේ තාවකාලික ලැගුම්හලට පැමිණෙන්නේ එම කුකුළු ගොවිපොලේ හිමිකරුත් සමඟ ඇතිකරගත් ආරවුලක් හේතුවෙන්. පසුගිය 29 වනදා දක්වා සතියක කාලයක් සැකකරු සහ ඝාතනයට ලක්වු කාන්තාව එහි රැඳී සිට ඇති අතර, 29 වනදා උදෑසන ඔවුන් දෙදෙනා අතර ගැටුමක් හටගෙන තිබෙනවා. ඒ, නැවත දිවුලපිටිය කුකුළු ගොවිපොළ වෙත යාමට ඝාතනයට ලක්වු කාන්තාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.
එහිදී සිදුකළ පහරදීමක් හේතුවෙන් අදාළ කාන්තාව මියගොස් ඇති අතර, මළ සිරුර ගමන් බෑගයේ දමා සැකකරු පිටකොටුව - බැස්ටියන් මාවත බස් නැවතුම්පොළ වෙත පැමිණෙන්නේ වව්නියාවේ පිහිටි සහෝදරියගේ නිවසට යාම සඳහායි. සැකකරු එම ගමන් බෑගයට අමතරව තවත් ගමන් මළු දෙකක් රැගෙනවිත් ඇති අතර, මළ සිරුර තිබූ ගමන් බෑගය බරින් වැඩි නිසා බස් නැවතුම්පොලේ තබා වව්නියාව බස් ගාල් කරන ස්ථානය වෙත ගොස් ඇත්තේ බස් රථයක් තිබේද යන්න පරීක්ෂා කිරීමටයි.
එම ස්ථානයට ගොස් නැවත මළ සිරුර ඇති ගමන් බෑගය යළි රැගෙන ඒමට යන අවස්ථාවේදී එම ස්ථානයේ පොලිසිය ඇතුළු විශාල පිරිසක් රැඳී සිටි බවයි සැකකරු පොලිසියට පවසා ඇත්තේ. බියට පත් ඔහු වව්නියාවේ සිටින සහෝදරියගේ නිවසට පැමිණ පසුව මන්නාරමේ පිහිටි ඥාතියෙකුගේ නිවසට ගොස් තිබෙනවා. එහි සිට මොහු පෙදරේරු රැකියාව සඳහා ගොස් ඇති බවයි කොළඹ අපරාධ කොට්ඨාසයේ උසස් නිලධාරියා සඳහන් කළේ.
මේ පිළිබඳව ඇයගේ මව කී කතාව
මෙතනින්....