ලාංකේය නළු නිළියන්ට විදෙස් චිත්‍රපටවල රඟපාන්න අවස්ථාව ලැබුණේ ගොඩක් අඩුවෙන්. නමුත් වර්තමානයේ ඒ තත්ත්වය ගොඩක් දුරට වෙනස් වෙලා. ජැකලීන් ෆර්ඩිනෑන්ඩස් ලබාගත්තු ජනප්‍රියත්වය එක්ක ගොඩක් ලාංකේය නළු නිළියන්ට තමන්ගේ සිනමා කර්මාන්තයේ දොරටු විවර කරන්න කටයුතු කරලා තියෙනවා.
ඒ විදිහට කොලිවුඩ්වලට පිවිසෙන අලූත්ම ලාංකේය සුරූපිණිය තමයි ලොස්ලියා මරියනේසන්. ලොසිලියා කියන්නේ තවමත් අවුරුදු 25ක සුරූපී තරුණියක්. කිලිනොච්චිවල ඉපදුණු ඇය කාලයක් රූපවාහිනී නාලිකාවක නිවේදිකාවක් විදිහටත් කටයුතුකරලා තියෙනවා. ලොස්ලියා කොලිවුඞ් සිනමාවට පාර කපාගන්නෙත් හරි අපූරු විදිහට. ඒ තමයි ජනප්‍රිය ඉන්දියානු රියැලිටි වැඩසටහනක් වන බිග් බොස් 03 වැඩසටහනේ දමිළ වැඩසටහනට සහභාගිවීමෙන්.
ලොස්ලියාට බිග් බොස් වැඩසටහනට සහභාගී වෙන්න අවස්ථාව ලැබෙන්නෙත් අහම්බෙන්. ඒ රූපවාහිනී නිවේදිකාවක් වුණු නිසා. නිවේදිකාවක් කීවට එයා නිකම්ම නිකම් නිවේදිකාවක් නෙවෙයි. ප්‍රවෘත්ති නිවේදිකාවක්. ඒ වගේම ලොස්ලියා ඉඩ ලැබෙන අවස්ථාවල නිරූපිකාවක් විදිහටත් තමන්ගේ ගමන ඉදිරියට කරගෙන යනවා. මේ නිසා ඇගේ සුන්දරත්වය ගැනත් ආයේ කතා කරන්න දෙයක් නැහැ. බිග්බොස් 3 වැනි දමිළ රියැලිටි වැඩසටහනට සහභාගී වීමෙන් ලොස්ලියා ලැබූ ජනප්‍රියත්වය කාටවත් හිතාගන්න බැරිවුණා. එහිදී ඇය දක්වපු දක්‍ෂතාවන් ලාංකේය තරුණියකගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් දේවල් නෙවෙයි.
අනිත් කාරණාව තමයි ලොස්ලියා මේ චිත්‍රපටයේ රඟපාන්නේ කා එක්කද කියන එක. ඇත්තටම ඒක කිසිම කෙනෙකුට ලැබෙන්නේ නැති අවස්ථාවක්. හර්බජන් සිං. ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකු විදිහට ලෝකයේම අවධානය දිනාගත්තු සුපිරි තරුවක් එක්ක තමයි ලොස්ලියා මුල්මවරට කොලිවුඞ් සිනමාවට සම්බන්ධ වෙන්නේ. හර්බජන් සිනමාවට පිවිසෙන්නෙත් මේ චිත්‍රපටයෙන්. චිත්‍රපටයේ නම තමයි ෆ්‍රෙන්ඩ්ෂිප් ජෝන් පාවුල් රාජ් සහ ෂාම් සූර්යා විසින් තිරරචනය ලියා අධ්‍යක්‍ෂණය කරනු ලබන මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ සිඇන්ටෝවා ෆිල්ම් සහ සිනමාස් ස්ටුඩියෝ විසින්. ලොස්ලියා සහ හර්බජන්ට අමතරව මේ චිත්‍රපටයේ ජනප්‍රිය නළු අර්ජුන් සහ සතිෂ් කියන දෙන්නත් රඟපානවා.
ලොස්ලියාව තවමත් ලෝක සිනමාව අඳුනාගෙන නැති වුණාට හර්බජන්ව හැම කෙනෙක්ම වගේ අඳුරනවා. ඒ නිසා මේ චිත්‍රපටයේ හර්බජන්ගේ රංගනය මොන වගේ එකක් වෙයිද කියලා හැම කෙනෙක්ම වගේ බලාගෙන තමයි ඉන්නේ. මේ වෙනකොට සිනමාපටයේ පූර්ව ප්‍රචාරකපටය මාධ්‍යයට නිකුත් කරලයි තියෙන්නේ. සාමාන්‍ය සිනමාපටයකට වඩා වැඩි ප්‍රේක්‍ෂක ආකර්ෂණයක් මේ වෙනුවෙන් ටික කාලෙකදී හිමිවෙලා තිබුණා. වෙනස් විදිහේ කතා තේමාවක් වටා ගෙතෙන මෙම චිත්‍රපටයේ සරළ සුන්දරත්වය වගේම ක්‍රීඩාශීලීත්වයත් ඇතුලත්වන අපූරු සිනමාපටයක් කියලා තමයි විචාරකයින් මත පල කරලා තියෙන්නේ. දමිළ භාෂාවට අමතරව මෙම සිනමාපටය හින්දි දමිළ සහ තෙළිඟු යන භාෂා වලින් නිකුත් කරන්න නිෂ්පාදක සමාගම මේ වෙනකොටත් කටයුතු සැලසුම් කරලා තියෙන්නේ.
ප්‍රධාන නළු නිළියන්ට අමතරව එම්. එස් භාස්කර්, ජේ. සතිෂ් කුමාර්, වෙන්කට් සුභා, වෙට්ටුකිලි බාලා රංගනයෙන් දායකවන ෆ්‍රෙන්ඞ්ෂිප් චිත්‍රපටය ලොව පුරා සිනමාශාලාවල තිරගත කරන්න තමයි ඔවුන් සූදානම් වන්නේ. චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ වුණේ 2020 මාර්තු මාසයේදී. හර්බජන් ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරඟාවලියට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට තරඟ කරන කාලේදී තමිල්නාඩු ප්‍රාන්තයේ රසිකයින් අතර ගොඩක් ජනප්‍රිය වුණා. මේ නිසා තමයි ඔහුව තමන් ගේ සිනමාපටයට සම්බන්ධ කරගන්න ඕනෑ කියලා අධ්‍යක්‍ෂකවරයා කල්පනාකරලා තියෙන්නේ. ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයෙක් දමිළ සිනමාවට සම්බන්ධවන පළමු අවස්ථාවත් මේකයි. ඒ නිසා හැම පැත්තකම වාසිය මේ චිත්‍රපටයට හිමිවෙලා තියෙනවා.
ජනප්‍රිය නළු අර්ජුන් සර්ජා මෙහි ප්‍රබල විලන් කැරැක්ටර් එකකට සම්බන්ධ වෙනවා. කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ වුණත් නිෂ්පාදක මණ්ඩලය එළැඹෙන අගෝස්තුවේ මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයින් අතරට ගෙනියන්න තමයි සූදානම් කරලා තියෙන්නේ. මෙහි ඇතුලත්වන ජනප්‍රිය සුපර් ස්ටාර් කියන ගීතය හර්බජන්ගේ උපන්දිනය දවසේ යූටියුබ් වලට නිකුත් කරලා තිබුණා. ඒ ගීතය විශේෂයෙන්ම රජිනි ඛාන්ත්ට උපහාරයක් විදිහට නිර්මාණය කළා කියලා තමයි නිෂ්පාදක කණ්ඩායම කියන්නේ. ජනප්‍රිය ක්‍රිකට් තරුවක්, ලාංකේය නවක නිළියක්, ඉන්දියානු සුපිරි තරු කිහිපයක් අතර ගොඩනැගෙන මේ අපූරු මිත්‍රත්වයේ රසය විඳගන්න අපිට එළැඹෙන අගෝස්තුව වෙනකල් බලාගෙන ඉන්න වෙනවා.
අමිල නුවන් මධුසංඛ
දිවයින