මීගමු වැල්ලවීදිය නිවෙසක ගරාජයක් තුළ ගෙල වැලලාගෙන මියගොස් ඇති බවට හඳුනාගෙන ඇති තැනැත්තියකගේ මරණය පිළිබඳව නීතිපති උපදෙස් ලබාගන්නා ලෙසත් එම සිද්ධියට චෝදනා ලබා ඇති සැක සහිත පුද්ගලයා තමා වෙත ඉදිරිපත් කරනා ලෙසත් මීගමුව නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න මහතා මීගමුව පොලිසියට පෙරේදා (10) නියම කර තිබේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ අංක 182, මීගමුව වැල්ලවීදිය ප්‍රදේශයේ පදිංචිව සිටි මනෝහරන් ඇනස්ටිස් ලක්ෂිනි (24) නමැත්තියකි. මේ තැනැත්තියගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ මීගමු රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී. කේ. විජයවර්ධන මහතා මරණය ගෙල වැලලාගෙන සිදු කර ගත් එකක් බව සඳහන් කර තිබිණි.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර පරීක්ෂා කිරීමේදී යට ඇඳුම් තුළ තිබී සොයාගත් මියගිය තැනැත්තිය විසින් ලියනා ලදැයි කියනා ලිපියක් හමුව තිබේ. මීගමුවේ හෝටලයක සිටින බව කියනා පුද්ගලයකු තමාව එම හෝටලේට කැඳවාගෙන ගොස් කීප අවස්ථාවක් ලිංගකව හැසිරුණු බවත් මුල් අවස්ථාවේ අප දෙදෙනා එකට සිට ගත් ඡායාරූප ප්‍රසිද්ධියට පත් කරන බවත් මේ තැනැත්තා මා වෙත ප්‍රකාශ කර බිය ගැන්වීම හේතුවෙන් මොහු සමඟ මෙලෙස නිතර නිතර හැසිරීමට සිදු වුණු බවත් එම ලිපියෙහි සඳහන්ව තිබී ඇත. මේ සැකකාර පුද්ගලයාගේ නම ලිපියෙහි සඳහන් කර ඇත්තේ ශ්‍රී ලාල් ප්‍රනාන්දු යනුවෙනි.
මේ ලිපියෙන් කියැවෙනා සැකකාර පුද්ගලයා ගෙන්වාගෙන හදිසි මරණ පරීක්ෂකට ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස ද අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ලිඛිත ඉල්ලීමක් කර ඇත. මීගමු පොලිසියේ සැරයන් (25274) රෝහණ මහතා සාක්කි මෙහෙයවීය. වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගෙන මීගමුව නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න මහතා මෙය ගෙල සිර කර හුස්ම හිරවීමෙන් සිදුවූ මරණක් බව සඳහන් කර තිබිණි.
ඩී. මිහිඳුකුල කොච්චිකඩේ