පොලිස් නිලධාරීන් කණ්ඩායමක් බව පවසමින් බලපිටිය - පාතේගම - යෝගාශ්‍රම විහාරාධිපති හිමියන්ගෙන් රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදලක් ඉල්ලීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයෙකු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු 5 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පොලිස් ස්ථානාධිපතිවරයා නෝර්වුඩ් ප්‍රදේශයේ පොලිස් ස්ථානයක රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන බවයි පොලීසිය සඳහන් කළේ.
මොවුන් පෙරේදා රාත්‍රියේ විහාරස්ථානයට පැමිණ විහාරාධිපති හිමියන් මත්කුඩු ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බව පවසමින් එම පරීක්ෂණ කිරීම නතර කිරීම සඳහා අල්ලස් ඉල්ලා තිබුණා.
එසේ නොමැති නම් තමන් වහන්සේව පොලීසියට රැගෙන යාමට සිදුවන බවටයි විහාරාධිපති හිමියන්ට එම කණ්ඩායම දැනුම් දී ඇත්තේ.
කෙසේ වෙතත්, එහිදී විහාරස්ථානයේ සිටි වෙනත් පුද්ගලයෙකු මේ පිලිබදව පොලීසිය දැනුවත් කර ඇති අතර එහිදී පොලීසිය එම ස්ථානයට පැමිණීමත් සමග අදාළ පිරිස පළා ගොස් තිබුණා.
ඒ අනුව පොලීසිය සිදුකළ විමර්ශනවලදී බලපිටිය ප්‍රදේශයේ නිවසක සැගව සිටියදී මොවුන් ඊයේ අත්අඩංගුවට ගත්තා.
මේ අතර, මීටියාගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු අමානුෂික අන්දමින් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව චෝදනා එල්ල වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ද අධිකරණයට භාර වීමෙන් අනතුරුව මේ මස 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට සැගව සිටීමට සහය ලබාදුන් පුද්ගලයින් සොයා ඔවුන්ට එරෙහිව ද කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර ප්‍රකාශ කළේ.