ෆේස්බුක් සමාගම විසින් ඔස්ට්‍රේලියානු ෆේස්බුක් පරිශීලකයන්ට ප්‍රවෘත්තිමය වටිනාකමක් සහිත අන්තර්ගතයන් නැරඹීම සහ බෙදා හැරීම අවහිර කර තිබේ.
ඔස්ට්‍රේලියාව සම්බන්ධ පුවත් පළ කරන ආයතන එම පුවත් අන්තර්ගතයන් වෙනුවෙන් ඔස්ට්‍රේලියාවට මුදල් ගෙවිය යුතු බවට ගෙන ආ නීතියක් හේතුවෙන් මෙම අවහිර කිරීම සිදු කර ඇතැයි වාර්තා වේ.
අද උදෑසන ඔස්ට්‍රේලියානු වැසියන් ෆේස්බුක් පිටු වෙත පිවිසීමට උත්සහ කිරීමේදී කිසිදු දේශීය හෝ විදේශීය පුවත් සහිත ෆේස්බුක් පිටුවක් වෙත පිවිසීමට නොහැකි වී ඇත.
තව ද මීට අමතරව එරට රජයේ සෞඛ්‍ය සහ හදිසි සේවාවලට සම්බන්ධ ෆේස්බුක් පිටු වෙත පිවිසීමට ද නොහැකි බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ෆේස්බුක් සමාගම විසින් කරන ලද මෙම අවහිර කිරීම ඔස්ට්‍රේලියානු රජයේ විවේචනයට ලක් වී ඇත.
එරට රජය පවසන්නේ මෙම සිදුවීම හරහා ෆේස්බුක් වැනි ඩිජිටල් සමාජ මාධ්‍ය ජාල යෝධයන්ගේ වෙළෙඳපළ බලය කොතරම් විශාල ද යන්න නිරූපණය කරන බවයි.
එරට භාණ්ඩාගාරික ජෝශ් ෆ්‍රයිඩන්බර්ග් පවසන්නේ, මෙලෙස ප්‍රවෘත්තිමය තොරතුරු අවහිර කිරීම විශාල සමාජ බලපෑමක් සිදු කරන බව ය.
තව ද ඔස්ට්‍රේලියානු වැසියන් මිලියන 17ක පමණ සංඛ්‍යාවක් සෑම මසක ම සමාජ මාධ්‍ය අඩවි වෙත පිවිසෙන බව ද ඔහු සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එම නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඔස්ට්‍රේලියානු රජය කැපවෙන බවත් ෆේස්බුක් සමාජ ජාලය තම රට තුළ ක්‍රියාත්මක වනු දැකීමට කැමති බවත් ය.
"නමුත් ඔවුන් අද ගත් ක්‍රියාමාර්ගය අනවශ්‍ය සහ වැරදි ක්‍රියාවක් ලෙස මම හිතනවා," යනුවෙන් ද ඔහු පැවසීය.