නෙදර්ලන්ත රටේ වෙසෙන, ලංකාවේ උපත ලැබූ තරුණියක් විසින් වසර 30කට පමණ පසුව ඇයගේ සැබෑ මව සොයාගෙන දිවයිනට පැමිණි පුවතක් පිළිබඳව වාර්තා වනවා.
මෙම තරුණිය නෙදර්ලන්තයේ ඉංජිනේරුවරියක් ලෙස රැකියාවේ නිරතවන අතර දික්‌වෙල ප්‍රදේශයේ පදිංචි ඩී. නිමලාවතී නමැති මව විසින් සඳලංකාව දිසා රෝහලේදී 1985 -04 -03 වැනි දින ඇය මෙලොවට බිහිකර තිබෙනවා. ඇය උපත ලබා ඇත්තේ නිවුන් දරුවෙකු ලෙසයි.
මෙම දරු දෙදෙනා හදා වඩා ගැනීමට නිමලාවතීට බලපා ඇති ආර්ථික දුෂ්කරතා නිසා මාස දෙකහමාරක පමණ කාලයක් දරුවන්ට ගතවූ පසුව නෙදර්ලන්තයෙන් මෙරටට පැමිණි යුවලකට දරුකමට හදා වඩා ගැනීමට භාරදුන් බව ඇය පවසා තිබෙනවා.
එම යුවල සමඟින් හැදී වැඩුණු දරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් එරටදී සිදුවූ රිය අනතුරකින් මියගොස් ඇති අතර මේ වන විට 30වන වියේ පසුවන තරුණියට නෙදර්ලන්ත යුවල විසින් පවසා ඇත්තේ ඇයගේ මුල් දෙමාපියන් වෙසෙන්නේ ශ්‍රී ලංකාවේ බවයි. එම දෙමාපියන්ගේ ඡායාරූපද ඇයට ලබාදී ඇති නෙදර්ලන්ත යුවල මව හමුවී නැවත පැමිණෙන ලෙස පවසා තිබෙනවා.
ඡායාරූප හා ලියකියවිලි සමඟින් ශ්‍රී ලංකාවට පැමිණි තරුණිය සිය මව සොයගෙන යන්නට වී ඇති අතර සඳලංකාව දිසා රෝහලට යන අතරතුරදී එම බස් රථයේදී හමු වූ අයෙකුගේ මඟ පෙන්වීම යටතේ පන්නල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයෙන් සහ සඳලංකාව දිසා රෝහලෙන් තොරතුරු ලබාගෙන ඇයගේ කෙසේ හෝ සෑබෑ මව සොයා ගෙන ඇතිබවට වාර්තා වේ.
එම අවස්ථාව තරුණියට හා මවට මෙන්ම එම නිවස වෙත පැමිණ සිටි ප්‍රදේශවාසීන්ගේද සිතට සතුට මෙන්ම නෙතට කඳුළක් එක්‌කළ සංවේදී අවස්‌ථාවක් වූ බවට වැඩිදුරටත් වාර්තා වේ.

කුඩා කල හදා වඩාගත් නෙදර්ලන්ත මවුපියන්

ඡායාරූප - සඳලංකාව ධම්මික රාජපක්‌ෂ