පාසල් යන බාලිකාවක සමයේදී සිනමාවට පය තැබූ නිළි කැළ අතර වසන්ති චතුරාණිද එක් සුවිශේෂී අයෙකි. එය වඩා සුවිශේෂී වූයේ ගම්පහ සිරිකුරුස බාලිකාවේදී ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස්ගේ කලාත්මක ඇසට ඇගේ සොඳුරු බව අහඹුවක සේ හසුවීමය. සුමිත්‍රා පීරිස් නම් කලාකාරියගේ සිත් කොනක නිදා හුන් ‘ගැහැනු ළමයි’හි දුප්පත් කුසුම්ට ජීවය දුන් වසන්ති චතුරාණි නම් වූ පියකරු නිළි තාරකාව එයට පසු සිංහල සිනමාවට තවත් එක් වසන්තයක්ම වූවාය. මේ වසන්ති ගැනයි.
ඉතින් වසන්ති, ඔබ සුවෙන් සතුටෙන් ඇතැයි කියා සිතනවා?
උණක්, හෙම්බිරිස්සාවක් ඇරුණු කොට මම සුවෙන් සතුටෙන් දවස ගෙවනවා.
ඇයි මේ දවස්වල ඔබ වැඩි කලබලයක් නැත්තේ?
මම කොහොමත් කවදාවත් කලබල කළ කෙනෙන් නම් නෙමෙයි.
කලබලයක් යැයි අදහස් කළේ ටෙලි තිරයෙහි හෝ චිත්‍රපටයක ඔබ පේන්න නොසිටි නිසයි?
ටෙලි තිරයෙහි හෝ සිනමාවෙහි නිතර පෙනෙන්න ඕනෑය කියා හැම නිර්මාණයක්ම බාරගන්නා පුරුද්දක් මා තුළ තිබුණේ නැහැ. චිත්‍රපට වාගේම ටෙලිනාට්‍ය කලාවේදීන් මම හැමදාමත් තිර පිටපතක් සඳහා මගේ කැමැත්ත දුන්නේ එම චරිතය මට ගැළපෙනවා නම් හෝ එහි මට කරන්නට යමක් තියෙනවා නම් පමණයි.
ඉතින් ඒ නිසා ඔබේ ප්‍රශ්නයට මම දිය යුතු සුදුසුම උත්තරය වන්නේ මට හරි යන හොඳ චරිතයක් සඳහා කිසිවකු මට ආරාධනා කරනාතුරු විවේකීව මම බලා සිටිනවා කියන එක පමණයි. ඒ වාගේම මම නිහඬවම සිටියාය කියලා කියන්නත් බැහැ. මොකද පසුගිය දවස්වල මම මගේ අටවැනි ටෙලිනාට්‍ය නිෂ්පාදනයේ වැඩකටයුතු නිම කිරීමේ මෙහෙවර තුළ මඳක් අවිවේකීව සිටියා.
ටෙලිනාට්‍ය 8ක් නිෂ්පානය කළ ඔබේ ඊළඟ වෑයම චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමද?
තවම එහෙම සූදානමක් නැහැ. චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරනවාට වැඩිය හාත්පසින්ම වෙනස් දෙයක්. ඒ වෙනස තුළ බොහෝ වගකීම් සහ භාරදූර කාර්යයන් තියෙනවා. චිත්‍රපට නිෂ්පාදනය සඳහා අතගැසිය යුත්තේ ඒ සියල්ල තුළ නිවැරැදි මෙහෙවරක නියැළීමට අවශ්‍ය ප්‍රතිපාදන සම්පූර්ණ කරගෙනයි. තවමත් ඒ ප්‍රතිපාදන මා සතුව ඇතැයි මම සිතන්නේ නැහැ.
නිළියක වූයේ කුඩාකල සිට ඔබ දුටු හීනයක් සැබෑ කරගන්නද?
රඟපාන්නට පුංචිම පුංචි හීනයක් මගේ හිත් කොනක තිබුණා. හැබැයි එය යම් ඉලක්කයක් ජය ගැනීමේ සීමාව නම් පසුකර තිබුණේ නැහැ. තවත් පැහැදිලිව කියනවා නම් නිළියක වන උමතුවක හෝ විශාල බලාපොරොත්තුවක මම කවදාවත් සිටියේ නැහැ.
ඒ ඇයිද?
මම හැදුණේ යම් නීතිමය පරිසර රටාවක් තුළයි. තනියම ගමනක් යන්නටවත් ඒ දවස්වල මට නිදහසක් තිබුණේ නැති තරම්.
එච්චර සීමාවන් තුළ සිරවී සිටි ඔබ ගැහැනු ළමයිහි කුසුම් වූයේ කොහොමද?
මාව ගැහැනු ළමයිහි කුසුම් කළා මිසක මම ගැහැනු ළමයිහි කුසුම් වූයේ නැහැ. හැබැයි මම අදටත් ගැහැනු ළමයිහි කුසුම් මා වෙත පැමිණීම ගැන ඉතා දැඩි ආත්ම තෘප්තියක් අත්විඳිනවා. මට තවමත් පුදුමයි ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් නම් ඒ අපූරු කලාකාරිය ගම්පහ හෝලික්‍රොස් කොන්වන්ට් එකට ආවා. අහම්බෙන් වාගේ මාව තෝරා ගත්තා. එයට පසු මගේ ගෙදරිනුත් කොන්වන්ට් එකෙනුත් අවසර අරගෙන මාව කුසුම්ගේ චරිතය වෙත අරන් ගියා. අද මාව මෙහෙයවූ ආකාරය වගේම මා තුළ සැඟව සිටි රංගන ශිල්පිනියව විශ්වයට මුදාහැරපු ආකාරය හරිම අනභිවනීයයි.
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරු ඔබ වටා එක්රොක් වූයේ ඒ අනභිවනීය බව නිසාද?‘
මං හිතන්නෙ එහෙමයි. කුසුම් නිසා මා ලද වාසනාව අසීමිතයි. ඉතාම උසස් මට්ටමේ ප්‍රවීණ චිත්‍රපට නිර්මාණකරුවන් මා සොයා ආවේ මම නොසිතූ ලෙසයි. කොයි චිත්‍රපටයද තෝරාගන්නේ කොයි එකද මම ප්‍රතික්ෂේප කරන්නේ කියන තරමට මට චිත්‍රපට සඳහා ඇරයුම් ලැබුණා.
චිත්‍රපට තෝරා බේරා ගැනීම තුළ ඔබ සීමාවන් හදාගත්තේ ඒ හින්දද?
එයද එක් හේතුවක් වුණා. ඒ වගේම තිර පිටපත් බාර ගැනීමේදීද මට නොගැළපෙන චරිත හෝ දර්ශන ඇත්නම් මම එය ඉතා සුහදව ප්‍රතික්ෂේප කළා.
‘ගඟඅද්දර’ නිර්මලාද, ‘ගැහැනු ළමයි’හි කුසුම් තරමට ඔබේ සිනමා දිවිය වර්ණවත් කළා?
සත්තකින්ම ඔව්. නිර්මලා අතපත්තු කියන ඒ සංකීර්ණ චරිත නිරූපණය ජනාධිපති සම්මානය මගේ දෝතට ගෙනත් දුන්නා.
ඔබ කැමැතිම චරිත අතර ප්‍රථමයාව සිටින්නේ ගැහැනු ළමයිහි කුසුම්ද? ගඟ අද්දරහි නිර්මලාද?
ඔවුන් නිසා මා ලද ජනතා ආදරය, ගෞරවය වගේම වාසනාවද අසීමිතයි. ඒ නිසා ඔවුන්ව වර්ගකර දැක්වීම සිතට දුකක්.
රංගවේදිනියක ලෙස ඔබ ලද දෑ බොහෝමයි. ලබාගන්නට තවත් යමක් වේ නම් ඒ කුමක්ද?
ජාත්‍යන්තර සම්මානයක් දෝතින් තුරුළු කර ගැනීමේ ආසාවක් මා තුළ තියෙනවා. ඒ වෙනුවෙන් හොඳ චරිතයකට දායකත්වය දෙන්නට මම බලා සිටිනවා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු