නිහාල් නෙල්සන් කියන්නේ එදත් අදත් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙක්. ඔහු ගයන හැම ගීතයක්ම ජනතාව ආදරයෙන් පිළිගත්තා. ඒ නිසාම ඔහු ඉන්න සංගීත ප්‍රසංගයක් මගනොහරින රසිකයින් ඔහුට හිටියා. ඔහුත් එක්ක කුලගෙය ආදරයෙන් බෙදා ගත් ආදරණිය ප්‍රියම්භිකාව මාලි පසුගියදා ඔහුව තනිකර සදහටම ජිවිතයෙන් සමුගත්තා. ඒ සොවින් ඉන්න නිහාල් ගැන අහන්න අපි ඔහුගේ ආදරණිය පුත්‍රයා තරංග නෙල්සන්ව සම්බන්ධ කරගත්තා. ඔහු ගැන හා දෙමාපියන් ගැන ඔහු කියන්නේ මේ විදිහටයි.
තරංග නෙල්සන් කිව්වම බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඔබ ප්‍රසිද්ධ වේදිකාවට අවතීර්ණ නොවන නිසා, ඒ නිසා ඔබ ගැන කෙටියෙන් කතා කරමු මුලින්ම..?
මම තවම ප්‍රසිද්ධ වේදිකාවත් එක්ක සම්බන්ධ වෙලා නැහැ. ඒ නිසා නිහාල් නෙල්සන්ගේ පුතා මම කියලා නොදන්නා අය බොහොමයක් ඉන්නේ. මම සංගීතය හදාරලා තියෙනවා. ගීත ගායනා කරන්නත් පුළුවන්. මම දැන් විවාහකයි. මගේ බිරිද ගයනි කාංචනා. දුව කයිලි අමේලියා. එයාගේ වයස තවම මාස 9යි. මගේ අම්මා දුවට හරිම ආදරෙයි. අම්මා ලග ඉද්දි අපි දුවව තියාගෙන හිටියොත් දුව අම්මගේ ඇගට පැනලා වඩා ගන්න කියනවා. අපිට වඩා දුව ඉන්නේ අම්මා ලග. ඒ තරමටම අම්මයි දුවයි එකතුයි. දැන් දුවට ආච්චිගේ ආදරේ නැති වුනා.
ඔබේ මව කාලයක සිට අසනිපෙන්ද හිටියේ..?
නැහැ. අම්මා හොද නිරෝගී සුවයෙන් හිටියේ. එකපාරටම ක්ලාන්තයක් ආවා කිව්වා. ඊට පස්සේ තාත්තා එක්ක රෝහලට ගියා. ගිලන් රථයේ යද්දී තාත්තා එක්ක අම්මා හොදට කතා කරගෙන ගිහින් තියෙනවා. අපහසුවකින් තොරව. ගෙදර ඉන්නකොටත් හොදට අපිත් එක්ක කතා කර කර හිටියේ. එකපාරටම තමයි අසනීප වුනේ..රෝහලට රැගෙන ගියාට පස්සේ අම්මගේ හාට් එක හතර වතාවක් නතර වෙලා. වෛද්‍යවරු ගොඩක් උත්සහ අරගෙන තියෙනවා අම්මව බේරා ගන්න. පස්වෙනි වතාවේ හාට් එක නතර වෙනකොට වෛද්‍යවරු අම්මට ආමාරුයි කියලා කිව්වා. රෝහලට ගේන්න පැය එකහාමාරකට විතර කලින් තමයි අම්මට හාට් ඇටෑක් එකක් ඇවිත් තියෙන්නේ. අම්මගේ ගත්ත රුධිර සාම්පල වාර්තාවේ ඒ විදිහට තමයි පෙන්නුම් කරලා තියෙන්නේ කියලා වෛද්‍යවරු කිව්වා. ඇත්තම කිව්වොත් අපි කවුරුත් ඒ මරණය බලාපොරොත්තු වුනේ නැහැ. මම හිතෙන්නේ අම්මාවත් ඒ මරණය බලාපොරොත්තු නොවෙන්න ඇති. එතරම්ම අම්මා හිටියේ සතුටින් හා සුවයෙන්.
ඔබ කුඩා කල සිට ඔබේ පියා ප්‍රසංග වේදිකාවත් එක්ක කාර්යබහුල වෙන්න ඇති..ඒ කාලේ ඔබේ මවගේ කැපකිරීම කොයි වගේද..?
දරුවෙකුට කියලා හිටියේ මම විතරයි. අම්මා ජිවිතයට සමුදෙනකල්ම ඇයගේ වගකීම් ඉටු කළා. තාත්තා වේදිකාව එක්ක කාර්යබහුල වෙද්දී අම්මා ඒ අඩුව මට දැනෙන්න දුනේ නැහැ. තාත්තා දවල් වරුවේ ගෙදර ඉන්න නිසා මට පාළුවක් තිබ්බෙත් නැහැ. අපි තුන්දෙනා නිතරම වගේ හිටියේ එකට. ගමන් බිමන් ගියේ, කෑවේ බිව්වේ එකට. මගේ අම්මා නියම අම්මා කෙනෙක්.
මව නැතුව පියා සංකාවෙන් කාලය ගත කරනවා ඇති..?
අවුරුදු 47ක් ඒ දෙන්නා විවාහ ජීවිතය සාර්ථකව ගත කළා. අපි උදේට නැගිටිනකොට අම්මයි තාත්තයි නැගිටලා ගෙදර වැඩ කරනවා..කෑම බිම ගන්නේ දෙන්නා එකට. තාත්තා මගුල් ගෙදරක ගිහිල්ලා ගෙදර එන්නේ නොකා. අම්මා එක්ක එකට ගෙදර කන්න ඕන නිසා. රෑට ප්‍රසංග තිබ්බොත් තාත්තා එන්න පාන්දර වෙනවා කියලා දන්න නිසා ඒ දවසට විතරක් අම්මා අපිත් එක්ක කනවා. නැත්තම් තාත්තා එනකල් අම්මා බලාගෙන ඉන්නවා. හැමදේටම එහෙමයි. ඒ වගේ බැදීමක් එක පාරටම නැති වෙලා යද්දී තාත්තාට දරාගන්න අමාරු ඇති. පාළු ඇති.
පියාගේ නම සංගීත ක්ෂේත්‍රය තුළ ගෙනියන්න අවශ්‍ය නිසා ඔබට ගායකයෙක් වෙන්න කියලා කවදාවත් මව කියලා නැද්ද..?
අම්මා වගේම තාත්තා කවදාවත් කිසිම දෙයකට මගේ ජිවිතේට බලපෑමක් කරලා නැහැ. මම දැනුම් තේරුම් තියෙන දරුවෙක්, මේ දේවල් මෙහෙම කලොත් මේ වගේ ප්‍රථිපලයක් ලැබෙයි. කරන නොකරන එක ඔයාගේ වැඩක් කියලා තමයි අම්මයි තාත්තයි නිතරම කිව්වේ. කොහොම හරි ගායකයෙක් වෙන්න ප්‍රසිද්ධ වෙන්න කියලා මට කියලා නැහැ.
ඇත්තටම ඔබ පියා වගේ ප්‍රසිද්ධ වේදිකාවට එන්න බලාපොරොත්තුවක් නැද්ද..?
එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන්. ඒක තවම මම තීරණය කරලා නැහැ. බලමු ඉදිරියට මොකද කරන්නේ කියලා.
පියාගේ ජනප්‍රියත්වයත් එක්ක පාසලේදී ඔබට වැඩිපුර වරප්‍රසාද ලැබිලා ඇති..?
මාව පාසලට ඇරලවන්න ගන්න එන්නේ තාත්තා. එනිසා මම නිහාල් නෙල්සන් කියන ගායකයාගේ පුතා කියලා ගොඩක් අය දැනගෙන හිටියා. නමුත් මමවත් තාත්තාවත් වරප්‍රසාද බලාපොරොත්තු වුනේ නැහැ. තාත්තා කොහොමත් කැමති නැහැ වැඩි සැලකිලිවලට. මමත් සාමාන්‍ය ළමයෙක් විදිහට වැඩකටයුතු කරගෙන හිටියා.
කොහොමද ඔබේ බිරිදගෙන් ලැබෙන සහයෝගය..?
අම්මා නැති නිසා අම්මා වගේම හැමදේම හොයලා බලන්නේ දැන් එයා. අම්මා ඉන්නකොට මගේ වයිෆ්ට වැඩ කරන්න දෙන්නේ නැහැ. අම්මා එයාට හරිම ආදරෙයි. මගේ වයිෆ්ටත් අම්මගේ අඩුව දැන් දැනෙනවා. අම්මා වගේම මට හොද බිරිදක් ලැබීම ගැන සතුටු වෙනවා.