මේ සතියේ දී 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුමත කරගැනීමට නිදහස් පක්ෂයේ සහාය නොලැබුනහොත් පාර්ලිමේන්තුව විසුරුවා හරින බව සභානායකවරයා පවසනවා.
සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ එසේ වුවහොත් ලබන මස පළවන සතියේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරන බවයි.
මේ අතර පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබෙන 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූලභාවය සහ එය ජනමත විචාරණයකට ඉදිරිපත් කළ යුතුද නැද්ද යන්න පිළිබඳ සිය තීන්දුව කථානායකවරයා වෙත කඩිනමින් දන්වා යවන බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (06) සඳහන් කර සිටියා.
එම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් 19ක් සහ ඊට පක්ෂව ඉදිරිපත් කළ අතරමැදි පාර්ශ්ව පෙත්සම් 7ක් දින තුනක් පුරා දීර්ඝ ලෙස විභාගයට ගැනීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව තීරණය කළා.
යෝජිත 19වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි සංශෝධනය කළ යුතු සහ නැවත සලකා බැලිය යුතු වගන්තීන් කිහිපයක් තිබෙන බවට අවධානයට යොමු කළ අධිකරණය ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙස ද නීතිපතිවරයාට දැනුම් දුන්නා.