චිත්‍ර ශිල්පය” රංගනය” භාෂණය” දේශනය” සන්නිවේදනය ආදී නෙක ඉසව් මත වැතිර අපේ වේදිකාව” සිනමාව” ටෙලිනාට්‍ය හා නිවේදනය ආදී ක්ෂේත්‍රයන් දශක කිහිපයක් පුරාම එකලූ කරන ජැක්සන් දැන් මා අබිමුව හිඳී. තම පරමාදර්ශය වූ පියතුමා ගැන හෙතෙම තම සොඳුරු මතකය මෙසේ අවදි කරයි.
‘‘මගේ තාත්තා නම්වර ලැබුවේ කොන්ගනීගේ බෙනඩික් ඇන්තනී නමින්. රාගම තේවත්ත පාරේ තාත්තාගේ මහගෙවල්. මගේ තාත්තාගේ තාත්තා අපේ සීයා පේදුරු ඇන්තනි. තේවත්ත පාර පරණ පල්ලියේ මීසමේ අන්නවිරාළ කෙනෙක්. ඒ පරම්පරාවේ බොහොම දෙනෙක් ඒ පල්ලියේ පූජාවට” ගීතිකාවට” සංදේශයට සහභාගි වූ කට්ටිය. සීයා විදුලිබල මණ්ඩලයේ ඕවර්සියර් කෙනෙක් හැටියට මුල් කාලෙ වැඩකරල තියෙන්නෙ. සේවක පුත්තු පදනමට අපේ තාත්තාටත් විදුලි බල මණ්ඩලයේම රස්සාවක් ලැබිලා. ඇළකන්දෙ - මීගමුවෙ ඉඳන් රාගම වෙනකම් ඕනෑම රා තැබෑරුමකින් ඕනෑම වෙලාවක බොන්ඩ ලැබෙන නිසා එයාට බොන්න ‘‘ලයිෂන්.. ලැබුණා කියලයි හැමෝම කීවේ. අපි පුංචි එවුවො කාලෙ එයා ආඩම්බරයෙන් කියනවා වෙලාවකට මෙහෙම ‘‘අපි කුම්බලා මාළු රා වලින් තම්බලා කාපු මිනිස්සු.. කියලා.
සීයා හරිම විනෝදකාමියෙක්. එයා වැඩිමනත් මුදල් ගෙදර ගේන්නේ නැති හින්දා අපේ තාත්තා දවල්ට කුලී වැඩ කරනවා. මේසන් වැඩ” අත් උදව් දෙන වැඩ ආදිය කරලා කීයක් හරි හම්බ කරගන්නවා. හැබැයි ? ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගන්නවා. ඒ නිසා අපේ තාත්තාට හොඳට දුක දරාගන්න පුළුවන් හදවතක් තිබුණ. ලාභයේ දී ඕනෑවට වඩා සතුටු වූයේවත්” අලාභයේ දී දුක් වූයේවත් නැහැ. හරිම උපේක්‍ෂා සහගතයි. අපේ අම්මා පොඩි වීකුඹුරෙ රොලීන් පෙරේරා. තාත්තයි - අම්මයි එකතු වෙලා තියෙන හැටි අපූරුයි.
තාත්තා තේවත්තේ පරණ පල්ලියේ පාස්කු නාට්‍යවල නළුවා. මෙයා දවසක් ඒ පැත්තට යන්නෙ පොඩි වීකුඹුරෙ අම්මලගෙ මහගෙවල් හරහා. ඒ යනකොට ලස්සන තරුණ කාන්තාවක් ළිඳකින් වතුර අදිමින් ඉන්නවා දැකලා නැවතුණා. බොරු තිබහකුත් ආවා. කිට්ටු කරා අර ළමිස්සි ගාවට. වතුර ටිකක් ඉල්ලූවා. අම්මත් බාල්දියෙන්ම තාත්තා දිගුකළ අත්ගොටුවට වතුර පොදක් පෙරුවා. ඒ වෙලාවෙ තමයි වතුර බොන ගමන්ම තාත්තා තරුණියගෙ මුහුණ හරිහැටි බැලූවෙ. ඒ තමයි පළමුවැනි නෙත් පහස.
තාත්තා ඒ වෙලාවෙ රාගම කඳානෙ විදුලි බල මණ්ඩලයේ අනියම් කම්කරුවෙක්. තාත්තගෙ අම්මා ඒ වෙලාවෙ තාත්තාට විවාහ බල බලානෙ ඉන්නෙ. එයා ගිහින් තමන්ගෙ අම්මට කියා තිබෙනවා මට ගැනියෙක් හොයනවා නම් කොහෙන්වත් හොයන්න එපා. අන්න අර පොඩි වීකුඹුරෙ අහවල් තැන ඉන්න ළමිස්සි කතා කරන්න. මං කැමතියි කියලා. දැන් පාස්කු කාලෙ ආවා. දැන් තමයි තමන්ගේ පෙම්වතීට වැඩ පෙන්වන වෙලාව. රාගම පල්ලියේ කරන මේ නාට්‍ය බලන්න අම්මටත්” එයාගෙ නැදෑයින්ටත් ආරාධනා කරලා. තාත්තා රඟපාන්නෙ ‘‘සිමොන් සිරිතේරුස්.. චරිතය.
මේ චරිතයට කිසියම් ගමන් තාලයකුත් දීල තියෙනවා. එයා තමයි කතෝලික ආගමේ හැටියට ජේසුතුමන්ව කුරුසියේ ඇණගසපු වෙලාවෙ ඒ බර දරන්ඩ උදව් කරල තියෙන්නෙ. වැටෙනකොට ඔසවාගෙන තියෙන්නේ. එයා මහා පින්කාරයෙක් හැටියටයි සැලකෙන්නේ. ඉතින් තාත්තා මේ චරිතය ගැන ආඩම්බරයි. දැන් සෙනග රොද බැඳලා බලාගෙන ඉන්නවා. අම්මා හා නෑදෑයො බලාගෙන ඉන්නවලූ. අර ගමන් තාලය අල්ලා ජේසුන්ට උදව් කරන්න ආපු තාත්තා අර පොල්කොට වේදිකාව කඩාගෙන බිමට ඇද වැටිලා ජරබරාස් ගාලා. අන්තිමට ජේසු ඔසවාගන්න හිටපු මිනිිහාව ඔසවාගන්න වෙලා තියෙන්නේ ජේසුට. අම්මා පසුකාලයේ ඒවා හිනාවෙලා කියනවා මට ඇහිලා තියෙනවා. අපේ තාත්තා අම්මාව කසාද බැඳලා පොඩි වී කුඹුරෙ අම්මාගේ ඉඩමේ ගෙදර බින්න බැස්සා. දැන් අයියා සේනක ටයිටස් ලැබුණා. මාත් ලැබුණා කියමුකෝ. තාත්තා නයිට් ඉස්කෝලෙ ඉංග්‍රීසි ඉගෙන ගත් කෙනා නිසා එයා ඇන්දෙ දිග කලිසම. ඒ ගමේ කෘෂිකර්මය පැත්තට ගිය ගොවිරාළලා” වඩු බාස්ලා හිටියෙ. අම්මගෙ පරම්පරාවත් එහෙමයි. ගමේ ගෑනු කෙනෙකුට ළමයෙක් ලැබුණාම නමක් දාගන්න එන්නෙ අපේ තාත්තා හොයාගෙන. ඉතින් මෙයා එක එක නම් දෙනවා මට මතකයි. මෙහෙම දීලා එක් අවස්ථාවක එක් ළමයෙකුට නම දීලා තියෙනවා ‘‘යූරි ගගාරින්.. කියලා. ගාමිණි ෆොන්සේකා අතිශය ජනප්‍රිය කාලෙ සිල්වා කියලා කෙනෙක් තාත්තාට කියලා අනුමත කරගෙන තියෙනවා නමක්. ඒ දරුවාගේ නම ගාමිණි ෆොන්සේකා සිල්වා.
දැන් පොඩි වීකුඹුරෙ අම්මගෙ කෑල්ලෙ වෙනම කබොක් ගලින් පොඩි ගේ කෑල්ලක් හදාගෙන යනකොට තාත්තාට රැකියාව ස්ථිර කරලා මාරුවක් ලැබෙනවා බණ්ඩාරවෙලට. ඉතින් ගෙදර කතාවෙනවා එහෙ හරිම සීතලයි. ඒකට ඔරොත්තු දෙන්න මොනවා හරි ගෙනියන්න ඕනෑ කියලා. ඊට ඉස්සෙල්ලා තාත්තා ඒ පැත්තට ගිහින් දැන් කන්දක් උඩ කුලියට ගෙයකුත් හොයාගෙන. දැන් සීතල කතාවට ‘‘බ්ලැන්කට්.. ගෙනියන්න ඕනෑ කියනවා. මට තේරුණේ බ්ලැන්කට් කියන්නේ මස්කට් වගෙ කන දෙයක් කියලයි. මට මතකයි මං ආසාවෙන් ‘‘බ්ලැන්කට්.. කන්න ගෙදර ගේනකම් බලා හිටියා. ගෙදර අයට හිනා.
මගෙ වීරයා මගෙ තාත්තා. එතුමා තමයි මගේ පරමාදර්ශය. මං අම්මගෙ ඉඳුල් ගැවුණු රෙද්ද පොරවාගෙන නිදාගන්න කැමැතියි වගේම තාත්තා බදාගෙන නිදාගන්නත් ආසයි. එහෙ ගියාම තාත්තා මාව දැම්මෙ හපුගොඩ මඩමෙ ඉස්කෝලෙට. තාත්තා හවසට වැඩ ඇරිලා ඇවිත් ඇඳුම ගලවලා දොර පළුවක නැත්තම් අල්මාරි කොක්කෙ ඒක එල්ලනවා. මං තාත්තගෙ දහදිය සුවඳට ආසයි. මං ඒක ඉඹපු අවස්ථා ගොඩයි. මං පොඩි කාලෙ දඟයා. ඒ නිසා තාත්තාගෙ ෆුට් බයිසිකලෙ පාසලට යනකොට ඉස්සරහ පොල්ලෙ තාත්තගෙ පාලනය යටතේ මාව තියාගෙන අයියාව පිටුපස ලැගේජ් එකේ තියාගෙන යන්නයි තාත්තා කැමති. ඒත් මං පොර කාලා දඟලලා පටුපස්සේ ලැගේජ් එකට පැන ගන්නවා. තාත්තාගෙ ඇගේ වැදිලා එන හුළං පාර විඳින්න ලැබීමයි ඒකට හේතුව. අනෙක මොන මොනවා හරි කියව කියවා යන්නත් මා කැමතියි. තාත්තගෙ සුවඳත් මට හරි සැපයි.
තන්තිරිය හන්දියෙ ගෙවල් පහ. මාරගහ යට ගෙදර අපි ඒ කාලෙ හිටියෙ. තාත්තා කාකි කොට කලිසම අඳලා මේස් සපත්තු දාලා බයිසිකලයේ නැග්ගෙ. මේ විදියටයි අප ගෙනියන්නෙ. අපේ තාත්තා පුංචි තැන ඉඳන් ඉහළටම ගියා. අනියම් කම්කරු ඉඳලා ලයින්ස්මන්” ඕවර්සියර් මේ තනතුරු පහු කරගෙන විශ්‍රාම ගියේ විදුලි අධිකාරි හැටියට. ඔය පොල්ගොල්ලෙ ට්‍රාන්ස්ෆෝමරේ හැදුවෙ තාත්තා. තාත්තට එන්න බැරි දවසට අපි පයින්ම පාර අයිනෙන් ඉස්කෝලෙ යනවා. එතකොට අපට පෙනෙනවා” අපේ තාත්තා ලයිට් කණුවක් උඩ නැගලා මොනවා හරි හදමින් ඉන්නවා. අප දුටුු ගමන් එයාට සතුටුයි. එයා කලිසම් සාක්කුවට අත දාලා රුපියල් 5ක් අරන් පහළට විසි කරනවා අප පාමුලට. අයියයි මායිනෙ යන්නෙ. ‘‘ දෙන්නා කඩල ගොටු දෙකක් කාපන් කියලා. කඩල ගොට්ටක් ඒ කාලෙ රුපියල් 2.50යි.
බණ්ඩාරවෙල සිනමා ශාලා දෙකක් තිබුණා ඒ කාලේ. මොඩර්න් හා සීගිරි කියලා. මේ සිනමා ශාලාවලින් තාත්තාට මාසයකට සැරයක් නොමිලේ ටිකට් පත් කීපයක් ලැබෙනවා. එක සැරයක් ‘අංගුලිමාල.චිත්‍රපටය බැල්කනියේ බැලූවා මතකයි. මේකෙ දර්ශනයක් තියෙනවා නළුවකු කණුවේ ගැටහලා අතපය බැඳලා ගහන දර්ශනයක්. මේක අපට මහා විශ්මිතයක්. අයියත් පුදුමයෙන් බලා හිටියා. ඊට පහුවෙනිදා නිවාඩු දවසක්.
අම්මා රෙදි සෝදන්න ළිඳ ලඟට ගිය වෙලාවක අයියා මගෙන් ඇහුවා ඒ දර්ශනය කරමුද කියලා. මං හා කීවා. දැන් ගෙදර කණුවක මාව රෙදි පටිවලින් ගැටගහලා කසයක් වගේ එකක් හදන් අයියා මට තළනවා. හරිම වේදනාවයි. මගේ විලාපයට යටිගිරියෙන් කෑ ගැහිල්ලට අම්මා ගෙට දුවගෙන එනකම්” අයියා මට ගැහුවා.
තවත් දවසක් තාත්තා අපූරු වැඩක් කළා. තාත්තා මටයි අයියාටයි සරම් අන්දලා ඔළුවෙ සුම්බර බැඳලා ගමන් තාලයක් දාලා ගීතයකට නැටුමක් ඉගැන්නුවා. ගීතය ගයන්නේ ජෝතිපාලයි මිල්ටන් පෙරේරාායි. ගීතය තමයි ‘‘රයිගමයාණෙනි” ගම්පළයාණෙනි” කම්මැළිකම ගව්වක් පරදා යන්න. මේකට අපි දෙන්නා පුහුණු කරලා අපට උපදෙස් ටිකක් දුන්නා ඒ විදියට කරන්න.
තාත්තා යාළුවෙක් දෙන්නෙක් එක්ක ඉඳහිට ගෙදර පොඩි පාටියක් දානවා. මධුවිත ටිකක් තොල ගානවා. එදා හිටියෙ තාත්තගෙ ඉංජිනේරු මහත්මයෙක් හා හන්දියෙ කඩයක් තිබුණ සිරිල් මාමා. මේ දෙන්නත් එක්ක ටිකක් අර පානය අරගෙන මෙන්න එකපාරටම මෙයා කියනවා. කෝ සින්දුවක් වත් නෑනෙ. කොල්ලො මෙහෙ වරෙන්.
මෙන්න! මේ මාමාලාට පේන්න මොනවා හරි සින්දුවක් කියල නටාපන් කියලා. අපි ඉතින් කලින් ලැබුණු උපදෙස් අනුව ක්‍රියාකරන්නෙ. අපි සරම් හා සුම්බර ඇඳගත්තා. ගමන් තාලය ඇල්ලූවා. දෙන්නා ජෝති හා මිල්ටන් වෙලා රයිගමයාණනි” ගම්පළයාණෙනි ගීතය කටින් කිය කියා නැටුවා. ඉංජිනේරු මහත්මයාටයි සිරිල් මාමටයි පුදුමයි. තාත්තාත් පුදුම වෙලා රඟපානවා. මේ වගේ හිරිමල් කොල්ලො දෙන්නෙක් මෙහෙම කරනවා මාත් කවදාකවත් දැකලා නෑ. කොහෙන්ද? බං මේ නැටුම් ඉගෙන ගත්තෙ. එහෙම කියලා එයත් රඟපානවා. අර මාමලාට සතුටුයි.
දවස් දෙකක් ගියේ නෑ. සුදු පාට ටේප් රෙකෝඩරයකුයි ස්ටූල් එකකුයි අරන් මෙන්න සිරිල් මාමා අපේ ගෙදර ආවා. ඇවිත් කීවා අර සින්දුව ආයිත් කියන්න කියලා. අපි දෙන්න ඊටත් වඩා හොඳින් එදත් ගායනා කරමින් නැටුවා. පස්සෙ එයා ඒක දාලා පෙන්නුවා. තාත්තාටයි අපටයි. අපේ කටහඬ නැවත මුල් වරට ඇහුවෙ එදා. ඊට පස්සෙ සිරිල් මාමා අප පාසල් ඇරිලා මාමලාගේ රෙකෝඩ් බාර් එක ළඟින් එනකොට ඈත තියාම අර සින්දුව ලවුඩ්ස් පීකර්වලින් දානවා. මුළු බණ්ඩාරවෙල ටවුමම මේ ගැන පසුව දැනගත්තා.
අපේ තාත්තයි අම්මයි උග්‍ර කතෝලික අය වුණාට තාත්තා තමයි මට මුලින්ම පන්සල් ඇසුර දුන්නෙ. පාන්දර පහට නැගිටලා පල්ලියේ පූජා” ගීතිකා ආදියට යනවා වගේම එයා දෝව රජමහා විහාරයේ පොඩි හාමුදුරුවන්ට මා භාරදුන්නා නිවාඩු දිනවලට ‘ධම්මපදය. උගන්වන්න කියලා. තාත්තාට මගේ අනාගතය ගැන පැහැදිලි ඉවක් තිබුණ කියල මට තේරෙන්නෙ දැනුයි. පොසොන් එකට ඒ ළඟ හිටපු චිත්‍ර ශිල්පියකුට කියලා මහින්දාගමනයට අදාළ පින්තූර අන්දලා එයා ‘මිහින්තලේ. අපට කියලා හදවනවා. තාත්තාගේ බයිසිකලේ පදිනකොට ඩයිනමෝ එකේ බලයෙන් තමයි ‘මිහින්තලේ. ආලෝකවත් වන්නේ.
තාත්තා පළාතේ විකට ඇඳුම් තරගවලටත් මා ගෙනියනවා. සායක් අන්දලා මුහුණේ කළු පාට ලාටු වගේ දේ ගාලා ‘පිස්සු මහත්තයා. කියලා ‘පාට්. එකක් තමයි එතුමා කරවන්නේ. හැමදාම පළමුවැනියා.
මේ අතර එක්තරා පත්තර පිටුවක තිබුණා පිටුව පුරා දැන්වීමක්. ලස්සන තරුණියක් එක් අතකින් ඹ ගහපු යුනික් වර්ගයේ රේඩියෝවක් හා අනෙක් අතින් ඇඹුල අරන් යන දර්ශනයක්. මේක දැකලා මං තාත්තට ඒ ගැන කීවා. තාත්තා කොහොම හරි මේක ගෙදර ගෙනාවා.
උපාලි ගෲප් එකේ ඹ අකුර ගහපු ‘යුනික්. රේඩියෝව අපට මැජික් එකක්. ඒකෙ ළමා පිටියට මම චිත්‍ර ඇන්දා. සුමනා ජයතිලක නැන්දයි” ලැම්බට් පෙම්මාවඩු මාමයි. මේ වැඩසටහන කළේ. ඒකෙ කතන්දරයක් තියෙනවා ඒකට කැමති විදියේ දර්ශනයක් චිත්‍රයට නඟලා ගුවන් විදුලියට යවන්න ඕනෑ. තාත්තා ‘අවශ්‍ය බඩුමුට්ටු ටික දීලා කියනවා. ඒකට චිත්‍රය අඳින්න. මම වන්නම් කියලා. මාත් ළමා පිටිය අහලා චිත්‍ර 25 - 30 ක් ඇරියා. කවදාවත් අවස්ථාවක් නෑ. තාත්තා මාව දිගටම පෙළඹෙව්වා. මාත් චිත්‍ර අඳිනවා. මෙන්න එක වතාවක් කියනවා අද ජයග්‍රාහකයා බණ්ඩාරවෙල ජැක්සන් ඇන්තනී කියලා. මං තාත්තා එනකම් නොඉවසිල්ලෙන් බලා ඉන්නවා. තාත්තා ගෙට ගොඩවෙච්චි ගමන් මේ පණිවුඩය කීවා.
ආ” මරුනේ. පුතේ මං කීවෙ කවදාක හරි අපි දිනනවා කියලා. එයා ඒ විදියට හරියට අපිව අගය කරනවා. හැබැයි තෑග්ග ගන්න ගුවන් විදුලියට යන්න ඕනෑ. එතකොට ඔය රඟපාන (සුදත් ඇන්තනි මගේ මල්ලි අම්මගෙ බඩේ. ඒ නිසා අයියවයි - අම්මවයි නතර කරලා තාත්තා මාවත් අරන් නයිට් මේල් දුම්රියෙ කොළඹ එන්න නැග්ගා. තාත්තාගේ ආසනේ ඉදිරිපිට පත්තර කොළ කිහිපයක් දාලා මං නිදාගත්තා. එළිවෙනකම් එනවනෙ. එළිවෙලා කොළඹින් බැස්සා. පාර අයිනෙ ටැප් එකකින් මුහුණ හෝදගෙන ඩබල් ඩෙකර් බසයක නැඟලා ගිහින් කොහොම හරි ගුවන් විදුලිය ළඟටත් ආවා. මං හිතන්නෙ දැන් මාව පිළිගන්න මල්මාලා අරගෙන කට්ටිය හිඳී කියලයි. බලනකොට කවුරුත් නෑ. කවුන්ටරය ළඟට ගිහින් ඇහුවාම ටිකක් වාඩිවෙලා ඉන්න කීවා. තෑග්ග මොකක්ද දන්නවාද? මිල්ක්රේ චොකලට් එකක්. ඒක බණ්ඩාරවෙල කඩේකින් ගන්න තිබුණා. වෙහෙස මහන්සිය වියදම මේවා ගැන කල්පනා වුණා. ඒත් තාත්තා කීවා ”පුතේ මේ චොකලට් එක සල්ලි දීලා ගත්තෙ නෑ. මේක ඔයාගෙ දක්‍ෂතාවට අගය කිරීමට ලැබුණු දෙයක්. ඒ නිසා ඒක ගොඩාක් වටිනවා කියලා. ඒ චොකලට් පෙත්ත පෙත්ත පවුලෙ කට්ටිය හැමෝම ආශාවෙන් කන්න හිතුණේ ඒ වචනවලටයි.”
මේ අතරෙදි තාත්තාට ආයිත් මාරුවක් එනවා කොළඹට. අපි සියලූ දෙනා අම්මා හදපු පොඩි වීකුඹුරෙ ඒ ගෙදරට එනවා. අයියව තාත්තා දැම්මේ දි මැසනොද් කොලීජියට කඳානේ. මාව මුලින් දැම්මේ හපුගොඩ ඉස්කෝලෙට. ඒකෙ ප්‍රධාන ශාලා 2 යි. පොඩි ඉස්කෝලයක්. ඒත් මගේ හිත ප්‍රියයි ඒ ඉස්කෝලෙට. මම ඒකෙ කැපී පෙනෙන ශිෂ්‍යයෙක් වුණා. නාට්‍ය පැත්තෙන් ලොකු වැඩ කොටසක් කළා. යුනික් රේඩියෝවෙන් ‘ගුවන් විදුලි රඟමඩල. (සුගතපාල ද සිල්වා කළ* අහලා ඒ ඇසුරින් මා නාට්‍ය ලියනවා. ඒවා ජනප්‍රිය වෙනවා. පල්ලියෙ ගීතිකා කියන්න මාත් යනවා. මර්සලීන් ජයකොඩි පියතුමාගේ වැඩ පිළිවෙළ මගේ හිතට අල්ලනවා. ඒ අනුව මං පල්ලියේදී පාවහන් ගලවන්නත් ජේසුට මල් පූජා කරන්නත් යනවා. ප්‍රින්සිපල් වින්සට් මෙන්ඩිස් මහත්මයා මං හැමදේම කරන හින්දා මට කැමැතියි. එයා තාත්තගෙත් හොඳම හිතවතෙක්. තාත්තා අහනවා මාවත් අයියලගෙ මැසනොද් කොලීජියට දාන්නද කියලා. ඒ කොලීජිය හරි දැවැන්තයි. මං කීවෙ අමුතු කතාවක්. ”තාත්තෙ ලොකු ඉස්කෝලෙකට ගිහින් ඒ අය අතර පොඩි මිනිහෙක් වෙනවාට වැඩිය මං කැමැතියි පොඩි ඉස්කෝලෙකට ගිහින් ලොකු මිනිහෙක් වෙන්න” කියලා. තාත්තත් මගේ කතාවට එකඟ වුණා.
අපේ ගම් පළාතෙ හරියට ආධුනික ගී තරග තියෙනවා. තාත්තා තමයි ඇවිත් කියන්නේ තිබෙන ස්ථානය.
බෙලිගහමුල සෙනසුරාදා ගී තරගෙ ලෑස්ති වෙයන් කියලා. මාත් ගිහින් කියනවා. කියන්නෙ පියාණනී මා නැවත උපන්නොත්...ගීතය. මං දිනනවා. ප්ලේස් එකක් ලැබෙනවා. එක දවසක් ගමට කිට්ටු තැනක හතරමං හන්දියේ ගී තරගෙ. තාත්තා මගෙන් ඇහුවා පුතේ මොකද්ද? අද කියන්නෙ කියලා. මම කිව්වා පියාණනි මා නැවත උපන්නොත් ගීතය කියලා. එපා පුතේ උඹ මව් ගුණ ගී දන්නෙ නැද්ද? කියලා ඒ වතාවෙ එයා ඇහුවා. මම කිව්වා දන්නවා කියන්නම් කියලා. ‘ආදරයේ උල්පත වූ අම්මා. ගීතය. මම ඇහුවා ඇයි! තාත්තෙ” ඒ ගීතය කියන්නයි කියන්නෙ කියලා. ඒ වතාවෙ තාත්තා කියනවා නෑ පුතේ අම්මා එනවා බලන්න කියලා. බලන්න! කොච්චර අහිංසක විදියට හිතන කෙනෙක්ද? මම එදා කීවෙ ඒ ගීතයයි. එයා මං නාට්‍ය ක්ෂේත්‍රයේ ” සිනමාවේ” ටෙලිනාට්‍යයේ නැඟී එද්දී ආශාවෙන් බලා හිටියා. මා රඟපාන නාට්‍ය බලන්න රට පුරා ශාලාවලට එනවා. එයා කළුවරේ ඉඳන් කැස්සහම (එයාට පොඩි කැස්සක් තිබුණා) ම දන්නවා තාත්තා ශාලාවේ ඉන්නා බව. ඒ තරම් එතුමා මට කිට්ටුයි. අපේ පවුලේ කොල්ලො පස් දෙනෙක්. ඒත් ගමේ අය කීවෙ කොල්ලො 6 දෙනාගෙ ගෙදර කියලයි. තාත්තත් එක කොල්ලෙක් හැටියට ගැමියන් ගණන් බලා තිබුණේ. ඒ තරම් ක්‍රියාශීලියි අපේ ඉඩමේ පිටුපසින් පසු කාලයක ගෙවල් මණ්ඩියක් හැදුවා. ඒ අයට යන්න පාරක් තිබුණේ නෑ. දවසක් ෆීලික්ස් පෙරේරා ඇමැතිතුමා ආවා. ඒ ගෙවල් මණ්ඩියට පාරක් ගන්න කතා කරන්න. තාත්තා එකපාරටම කීවෙ ”ගන්න ගන්න. අඩි 20 ක පාරක් එතුමා අපේ ඉඩමෙන් දුන්නා. ඒ මිනිසුන්ටත් පාරක් තියෙන්න ඕනෑනෙ...” එහෙම තමයි තාත්තා කීවෙ. ඒ කළ උපකාරයට ඒ පාර නගර සභාවෙන් නම් කළේ ‘බෙනඩික් ඇන්තනි මාවත. නමින්.
‘ගිනිඅවි හා ගිනිකෙළි. චිත්‍රපටයේ මා රඟපාන මැරයාගේ චරිතය රෑ තිස්සේ කරලා මං උදේ මහ ගෙදර ගියා. අපේ මහ ගෙදර සෙනඟ පිරිලා. මගේ තාත්තා ගෙදරදීම අන්ත්‍රා වෙලා. උදේ ශරීරකෘත්‍යය සඳහා වැසිකිළියට ගියාම එයා වැටිලා. එයා කවදාවත් ලෙඩ රෝග පෙන්වපු කෙනෙක් නොවෙයි. පොඩි කැස්සකට වුණත් අම්මා කලබල වුණොත් කියනවා ”උඹලගෙ අම්මට පිස්සු මේ බලපන් මගේ ෆිට් එක” කියලා කොලූ පාට් දාන මගේ පරමාදර්ශය එදා නැතිවුණා. ඊට පස්සෙයි අපිට හමුවන්නේ එතුමා රහසින් බෙහෙත් ගත් බව. දිව යට තියෙන පෙති බෝතලයක් එයා නිදාගන්නා කොට්ටය යට තිබිලා පස්සෙ හමුවුණා. මගේ පරමාදර්ශය තාත්තා. තාත්තා මගේ ලෙයට විතරක් නොවෙයි රංගනයටත් කෙළින්ම සම්බන්ධයි.
"දිවයින"