සුපිරි බොලිවුඩ් තරුවලට තමන්ගෙ දස්කම් රීදි තිරයේ මුදා හරින්න ඔවුන්ගෙ ඇඟ ඇතුළෙ තියෙන සහජ දක්ෂතාව විතරක් නෙවෙයි, තම බිරින්දෑවරුන්ගේ අතහිතත් බොහෝවිට ප්‍රයෝජනවත් වෙනවා.
මේ තරු බිරින්දෑවරු බහුතරයක් නිකම්ම නිකම් ‘වයිෆ්ලා’ නෙවෙයි. බොහෝ ප්‍රතිභාපූර්ණ, ප්‍රබල ඒ වගේම තමන්ගේම ශක්තියක් ගොඩනඟා ගන්න සමත්වූ අයයි. කිසි විටෙකත් තම තරු සැමියන්ගෙන් නොයැපෙන ඔවුන් තමන්ටම කියලා ලෝකයක් නිර්මාණය කර ගැනීමට සමත්ව සිටිනවා. මේ තමයි වර්තමානයේ බොලිවුඩයේ සිටින ජනප්‍රියම ඒ වගේම වඩාත් බලසම්පන්න තරු බිරින්දෑවරු.
ගෞරී ඛාන්
බොලිවුඩයේ තරු බිරින්දෑවරු පිළිබඳව කතා කරද්දී මුලින්ම සිහියට නැඟෙන්නේ ගෞරි ඛාන් ගැනයි. ශාරුක් ඛාන්ගේ බිරිය වන ඇය බොහෝ කුසලතා පූර්ණ ඒ වගේම ශක්තිමත් කාන්තාවක්. චිත්‍රපට නිෂ්පාදිකාවක් වන ඇය ‘රෙඩ්චිලීස් එන්ටර්ටේන්මන්ට්’ සමාගමේ සම නිර්මාතෘවරියයි. ඉහළ පෙළේ කාන්තා ඇඳුම් නිෂ්පාදිකාවක්ද වන ගෞරී තම නිෂ්පාදන ඉන්දියාවේ සුපිරි විලාසිතා ඉදිරිපත් කරන ආයතනයක් වන ‘සත්‍ය පෝල්’ වෙනුවෙන් නිර්මාණය කරනු ලබනවා.

ට්වින්කල් ඛන්නා
සුප්‍රකට බොලිවුඩ් නළු රාජෙෂ් ඛන්නාගේ සහ නිළි ඩිම්පල් කපාඩියාගේ දියණිය වන ට්වින්කල්ගේ නිළියක ලෙස ආදර්ශයට ගැනීමට තරම් දිගු ගමනක් බොලිවුඩය තුළ නොපැවතියද ඇය ඉතා ආදර්ශවත් බිරියක් ලෙස බොහෝ දෙනාගේ හදවත් දිනා ගැනීමට සමත්ව සිටිනවා. සුපිරි නළුවකු වන අක්ෂේයි කුමාර්ගේ දයාබර බිරිය වන ඇය ඉන්දියාවේ ඉතා සාර්ථක ගෘහ අලංකරණ ශිල්පිනියක්.
ඒ වගේම ඇය තීරු ලිපි රචිකාවක්, ගත් කතුවරියක් වගේම චිත්‍රපට නිෂ්පාදිකාවක් ලෙසද සාර්ථක ගමනක නිරත වෙනවා.

කිරන් රාවෝ
කිරන් රාවෝ බොලිවුඩයේ පරිපූර්ණවාදියා ලෙස හඳුන්වන ආමීර් ඛාන්ගේ දයාබර බිරිය පමණක් නෙවෙයි, ඇය අධ්‍යක්ෂවරියක්, නිෂ්පාදිකාවක් මෙන්ම තිරපිටපත් රචිකාවියක් ලෙසද නමක් දිනූ කාන්තාවක්. ඇගේ ප්‍රථම චිත්‍රපටය වූ ‘ඩෝබි ගාට්’ ඉන්දියාවේ පමණක් නෙවෙයි, විදෙස් රටවල පවා මහත් පිළිගැනීමට ලක්වුණා. ඇය ශාක භෝජක ප්‍රතිපත්ති අනුගමනය කරනවා පමණක් නොව සතුන් හා සම්බන්ධ කිසිවක් පරිභෝජනය නොකරන ඉතා අවිහිංසාවාදී චරිතයක්.

මෙහෙරා රාම්පාල්
හිටපු ඉන්දීය රූ රැජිනක මෙන්ම සුපිරි නිරූපිකාවකද වන මෙහෙරා ජෙසී රාම්පාල් බොලිවුඩයේ අතිශයින් කඩවසම් නළුවකු වන අර්ජුන් රම්පාල්ගේ බිරියයි. රුවැති දියණියන් දෙදෙනෙකුගේ මවක වන ඇය තම නිවස සේම ඔවුන්ගේ ‘චේසින් ගනේෂ්’ නිෂ්පාදන සමාගමද මනාව පාලනය කිරීමේ නිරත වූවා. අවාසනාවකට මෙන් පසු ගිය වසරේ ඔවුන් දෙදෙනා තම 20 වසරක් පැරණි විවාහය දික්කසාදයකින් නිම කළා.

මානා ෂෙට්ටි
සුපිරි නළු සුනිල් ෂෙට්ටිගේ දයාබර බිරිය වන මානා, ව්‍යාපාරික කාන්තාවක් ලෙස වගකීම් මනා ලෙස හැසිරවීම පිළිබඳව ඉතා ප්‍රකටයි. සමාජ සේවිකාවක, විලාසිතා නිර්මාණ ශිල්පිනියක, මෙන්ම ගෘහණියක ලෙසද ඇය තම වගකීම් ඉටු කරනු ලබනවා. මුම්බායිහි පිහිටි ඇගේ ‘ආර් හවුස්’ සාප්පුව ඉහළ පෙළේ ගැනුම්කරුවන් අතර ඉතා ප්‍රසිද්ධයි. මීට අමතරව ඇය දේපළ ව්‍යාපාරයක්ද පවත්වාගෙන යනු ලබනවා. ඒ වගේම ඇය ‘සේව් ද චිල්රන්ඩ්’ වැනි සමාජ සේවා සංවිධාන සමඟද සම්බන්ධ වී විශාල සමාජ මෙහෙවරක්ද ඉටු කරනු ලබනවා.

අදූනා භබානි
බෙංගාලි පියෙකුට සහ ඉංග්‍රීසි ජාතික මවකට දාව උපන් අදූනා සුප්‍රකට බොලිවුඩ් නළු ෆර්හාන් අක්තාර්ගේ කලින් බිරියයි. කීර්තිමත් හිසකෙස් මෝස්තර නිර්මාණ ශිල්පිනියක් වන ඇය ඉන්දියාවේ ප්‍රමුඛතම BBLUNT රූපලාවණ්‍යාගාර දාමයේ හිමිකාරිනියද වෙනවා.

සීමා ඛාන්
සොහේල් ඛාන්ගේ දයාබර බිරිය වන සීමා ඉන්දියාවේ සුප්‍රකට විලාසිතා නිර්මාණ ශිල්පිනියක්. ඇය සතු ඇඟලුම් සාප්පු සහ විලාසිතාගාර මුම්බායි නගරයේ බෙහෙවින් ජනප්‍රියයි.

මාන්යාතා දත්
ඇය තම සැමියා වන සන්ජේ දත්ගේ ‘සන්ජේ දත් නිෂ්පාදන සමාගමේ’ ප්‍රධාන විධායක නිලධාරිනියයි. සමාජ ක්‍රියාකාරිනියක් වන මාන්යාතා නිරතුරුවම සමාජ ක්‍රියාකාරකම්වලදී දැකගත හැකි චරිතයක්. සන්ජේ දත් පසුගිය කාලයේ මුහුණ පෑ අර්බුදකාරී කාලය තුළදී ඔහුට දැවැන්ත ශක්තියක් වූයේ ඇයයි.

මලයිකා අරෝරා
බොලිඩුඩයේ නමක් දිනූ නිළියක වන මලයිකා මෝස්තර නිරූපණ ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක් මෙන්ම නිවේදිකාවක් ලෙසද නමක් දිනූ චරිතයක්. අරබස් ඛාන්ගේ කලින් බිරිය වූ ඇය ටෙලි ක්ෂේත්‍රයේද තම හැකියාවන් සනිටුහන් කිරීමට සමත්ව සිටිනවා. වයස අවුරුදු 40 ඉක්මවා ගියද විලාසිතා පිළිබඳ ඇති ඇගේ සංවේදිතාව ඉතා ඉහළයි.
