වේදිකාව, පුංචිතිරය, රිදී තිරය යන කලා මාධ්‍ය ත්‍රිත්වයෙහිම දශක තුනකට වැඩි කාලයක් රංගනයෙන් දායක වන රංගන ශිල්පිනියක ලෙස මල්කාන්ති ජයසිංහ හඳුන්වා දිය හැකියි. දශක ගණනක් පුරාවට මෙරට රංගන කලාව තුළ සිය රංගන දක්ෂතාව මැනවින් නිරූපණය කරන ඇය ගෙදර දොරේ වැඩ හොඳින් දන්නා දක්ෂ ගෘහණියක්. මේ ඇය ගැනයි.
'මොනවද මේ දවස්වල කරන්නේ'
'ගොඩක් දේවල් කරනවා. ටෙලි නිර්මාණ කිහිපයකට රංගනයෙන් දායක වී සිටිනවා. චිත්‍රපට නම් මේ දිනවල කෙරුණේ නැහැ. චාලක රණසූරියගෙ 'මාරක ළිඳ', කුමුදු නිශාන්තගෙ 'කළුම කළු මහත්වරු', අකිල සපුමල්ගෙ 'සමාජවාදි මඟුල් කපුවා' කියන වේදිකා නාට්‍යවල රඟපානවා. සමාජවාදි මඟුල් කපුවා වේදිකා නාට්‍යයේ රිහසල් මේ දවස්වල සිදු වෙනවා. ඕව තමයි නිර්මාණ පැත්තෙන් කරන වැඩ'
ඔබ කලාවට පිවිසෙන්නේ වේදිකාවෙන්...?
මම කලාවට පිවසිලා දැන් අවුරුදු 36ක්. වේදිකා නාට්‍යයක් රසවිඳින්නේ කෙසේද යන්න මැයෙන් සෝමලතා සුබසිංහ මහත්මිය පවත්වන වැඩමුළුවක් ගැන පුවත්පතක දැන්වීමක් පළ වී තිබුණා. මමත් එම වැඩමුළුවට සහභාගි වුණේ නාට්‍ය බලන්න කුඩා කාලයේ සිටම ආසාවක් දැක්වූ නිසයි. දිනක් එම වැඩමුළුවට පැමිණි ධර්මසේන පතිරාජ මහතා ඔහුගේ නාට්‍යයකට ළමයෙක් ඉල්ලුවා.
එහිදී එතුමා මාව තමයි තෝරා ගත්තේ ඔහුගේ අලුත්ම වේදිකා නාට්‍යයට. ඉන් පසුව සෝමලතා සුබසිංහ මහත්මියත් ඇයගේ වේදිකා නාට්‍යයකට මාව සම්බන්ධ කරගත්තා. මගේ සැමියා මුණ ගැසෙන්නෙත් ඔය වැඩමුළුවේදීමයි. අපිට ශරීර සුවතාව රැකගන්න උපදෙස් ලබාදුන්නේත් වේදිකා සැකසීම් සඳහා සහාය වූයේත් ඔහුයි.'
ලාල් චන්ද්‍රසිරි ඔබේ සැමියා. හඳුනාගෙන අවුරුදු පහකට පස්සෙ තමයි විවාහ වෙන්නෙ...?
දරුවො දෙන්න ඉපදෙන්න ඉන්න කාලෙදිත් මම රඟපෑවා. මහත්තයා කවදාවත් රඟපාන්න එපා කියල නැහැ. ඒකට හේතුව මම රඟපාන්න ගියා කියල ගෙදර දොරේ වැඩ සහ දරුවන්ගේ වැඩ අතපසු කරන්නෙ නැති බව ඔහු දන්නවා. පුතා හිරණ්‍ය චන්ද්‍රගුප්ත ඉපදී අවුරුදු දහයකට පස්සෙයි දුව අමන්දි නවෝද්‍යා ඉපදුණේ. අද ඔවුන් දකින විට මගේ මහන්සිය අපතේ ගියේ නැහැනේ කියා හිතෙනවා'
'දරුවො දෙන්න පුංචි කාලෙ රූගත කිරීම්වලට යනවිට දවස් තුනකට විතර කෑම උයල ශීතකරණයේ දාල යන්නෙ. අපේ ගෙවල්වල වැඩට කට්ටිය හිටියට අපේ අම්ම තාත්ත අපේ වැඩ තනියම කරන්න හුරු කළා. ඒ පුරුද්ද නිසා දෙයියනේ කියල පණහක් ආවත් උයල කන්න දෙන එක මහ දෙයක් නෙමෙයි. උයන්න විතරක් නෙමෙයි මහන්න, මල් වවන්න හොඳට පුළුවන්. මගේ ඇඳුම් මම මයි මහ ගන්නෙ. පසුගිය පෑවිල්ල දවස්වල ෂුටින් ඉවරවෙලා රෑ එකට, දෙකට ගෙදර ආවත් මල්වලට වතුර දාල තමයි නිදා ගන්නෙ. මට කියන්න තියෙන්නෙ වුවමනාව තියෙනව නම් අපිට කරන්න බැරි දෙයක් නෑ කියන එකයි'
මල්කාන්තිට මවගේ චරිතය විතරක් ලැබෙන්නෙ ඇයි?
'මම නිතරම අම්මලාගෙ දුක දකිනවා. ඔවුන්ගෙ සිතුවිලි මට තේරෙනවා. ඒ දුක මගේ චරිත මැනැවින් නිරූපණය කරන නිසා වෙන්න ඇති අම්මලාගේ චරිත වැඩිපුර ලැබෙන්නේ. මට ඕනෑ ජීවත්වෙලා ඉන්න කාලය සතුටෙන් ගෙවා දමන්න. මොන චරිතය ලැබුණත් එය මැනවින් නිරූපණය කරන්නෙ නැත්නම් එම චරිතයෙන් වැඩක් නෑ. මම හිතන්නෙ කලා ක්ෂේත්‍රයේ ඉන්න හොඳයි කියන සෑම අධ්‍යක්ෂවරයකු යටතේම මට රඟපාන්න අවස්ථාව ලැබී තිබෙනවා'
'මම හැමදාමත් උඩුගංබලා යන්න හදන කාන්තාවක්. රංගන ශිල්පිනියක වුණා කියා කවදාවත් මෝස්තරවලට ගියේ නෑ. මෝස්තර කරන්න ගියොත් මට හම්බ කරන තුට්ටුදෙක නැතිවෙනවා. මම හිතනවා මට ඕනෑම ඇඳුමක් හැඩයි කියා. ගෙදරට රෙදි ගෙනත් මමම මහගන්නවා. ඒ වගේම තැනේ හැටියට අදින්නත් අපි දැනගන්න ඕනෑ. අපි හැම වෙලේම හිතන්න ඕනෑ තමුන් ජීවත් වෙන්නෙ තමුන්ට ඕනෑ විදිහට මිසක් රටේ ලෝකෙ මිනිසුන්ගෙ හිත් හදන්න නෙමෙයි කියලා'
'මම දරුවන්ට නිතරම කියන්නෙ පුළුවන් තරම් ඉගෙන ගන්න එවිට තමුන් කරන වෘත්තියෙ ඉහළටම යන්න පුළුවන්. මට දැන් ඕනෑ ඉක්මනින්ම සංසාර ගමන කෙළවර කරන්න. නමුත් මට ආදරය කරන රසිකයන් මම මොනවද කරන්නෙ කියල අවදියෙන් ඉන්නවා. ඔවුන්ව රිද්දන්න කැමැති නැති නිසයි ඔවුන් වෙනුවෙන් රංගනයේ යෙදෙන්නෙ'. 'වෙන සම්මානවලට වඩා ජනතාවගෙන් ලැබෙන සම්මානයට මම ලෝබයි'
නයනා වෑත්තෑව