අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහි චෝදනා 10 කින් යුත්, විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවේදී කථානායක කරූ ජයසූරිය වෙත භාරදෙනු ලැබුවා.
ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින්.
එම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තේනුක විදානගමගේ සහ රොෂාන් රණසිංහ ද එක්ව සිටියා.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ විශ්වාසභංග යෝජනාව සඳහා මන්ත්‍රීවරුන් 66 දෙනෙකු අත්සන් තබා ඇති බවයි.
ලිඛිතව 64 දෙනෙකු අදාළ යෝජනාවට අත්සන් තබා ඇති අතර, විදෙස් ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රසන්න රණතුංග සහ සනත් නිශාන්ත ද ෆැක්ස් මගින් විශ්වාසභංගයට කැමැත්ත පළ කර කතානායකවරයා වෙත ලිපි යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
පාර්ලිමේන්තුව තුල ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙන්ම එක්සත් ජාතික පෙරමුණේ සිට මෑතකදී විපක්ෂයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක ප්‍රියන්ත සහ ආනන්ද අලූත්ගමගේ ද මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් කර තිබෙනවා.
නිදහස් පක්ෂය මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා, එස්.බී. දිසානායක, තිලංග සුමතිපාල සහ නිශාන්ත මුතුහෙට්ටිගම ද මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් කර ඇති බව සඳහන්. දෙමළ ජාතික සන්ධානයේ සිට මෑතකදී විපක්ෂයට එක්වූ එස්. වියලේන්ද්‍රන් මන්ත්‍රීවරයාද අදාළ යෝජනාවට අත්සන් කර තිබෙනවා.
පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයන්ට අත්අඩංගුවට ගත් පිරිස් නිදහස් කරන ලෙස බලපෑම් කිරීම, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම සිදුකළ ඉන්සාෆ් අහමඩ් ඊබ්‍රාහිම්ට අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාවකට සම්මත පටිපාටියට බැහැරව වානිජ සහ කර්මාන්ත අමාත්‍යාංශයෙන් හිස් පතොරම් කොපු සැපයීම, අමාත්‍යවරයාගේ සහෝදරයෙකු වන රිෆ්ඛාන් බදියුදීන් යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන මන්නාරම පොලීසියට භාරදීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් නොකර බලපෑම් මත නිදහස් කර ගැනීම ඇතුලූ චෝදනා 10 ක් ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ මෙම විශ්වාසභංගයට ඇතුළත්.
විශ්වාසභංග යෝජනාවට සහය පළ කරනවාද යන්න සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායකගෙන්ද විමසීමක් කළා.
ඔහු කියා සිටියේ අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ පිළිබඳ සළකා බලන බවයි.
දෙමළ ජාතික සන්ධානයද කියා සිටියේ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති බවයි.